මස් කඩ සම්බන්ධයෙන් ගලේවෙල ප්‍රා. සභාව ගත් තීරණය


(කාංචන කුමාර ආරියදාස)

සුදුසුකම් සපුරා ඉල්ලන ඕනෑම අයෙකුට ගලේවෙල ප්‍රදේශයේ හරක් මස් විකිණීමට වෙළඳ බලපත්‍ර ලබාදීම සඳහා ප්‍රාදේශීය සභාවෙන් තීරණය කළ බව එහි සභාපති යු .ජි .අයි . කරුණාරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්  පැවසීය.

ගලේවෙල ප්‍රාදේශීය සභාවේ පසුගිය විශේෂ මහා සභා රැස්වීමේදී නගරයේ පවත්වාගෙන යන හරක් මස් කඩ හතක් ටෙන්ඩර් කිරීමකින් තොරව ‍දැනට පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් වෙත ලබාදෙන ලෙස පාලක පක්ෂයේ මන්ත්‍රීවරයකු හා එහි උප සබාපති එස් .එම් .මකිම් මහතා ගෙන ආ යෝජනාවත් සමඟ විපක්ෂයේ දැඩි විරෝධය හමුවේ එය නවතා දැමීමටත් දිගින් දිගටම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පවා මෙම සිද්ධිය කතා බහකට ලක් වෙමින් තිබෙන වකවානුවක ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාරත්න මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබිණි.

එහිදී සභාපතිවරයා සඳහන් කළේ ගලේවෙල ප්‍රාදේශීය සභාව අනීතිකව වැඩ නොකොට රටේ පොදු නීතියට ඒ එකඟතාවය පළ කරමින් මෙම මස් කඩ ටෙන්ඩර් කිරීමකින් තොරව වෙළඳ බලපත්‍ර මගින් ඉල්ලුම් කරන සුදුසුකම් සපුරන ඕනෑම අයකුට ලබාදීමට තීරණය කළ බවය දැනටමත් ඉල්ලුම් පත්‍ර 17 ක් ලැබී තිබෙන බවද කීය .

ගලේවෙල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ගව මස් අලෙවි කරන වෙළඳසැල් හතක් සහ ඌරු මස් අලෙවි කරන එක වෙළඳ සැලක් පවතින බවද පසුගිය පාලන සමයේ ටෙන්ඩර් කිරීමක් මගින් විශාල මිල ගණන් යටතේ ‍ ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති බව පෙන්වා දුන්නේය

වසරකට ගලේවෙල ප්‍රාදේශීය සභාවට ගව මස් වෙළඳසැල් හතෙන්ම රුපියල් ලක්ෂ විසිි අටක මුදලක් ලැබී තිබිණි .