මව සමඟ රෝහලට ගිය දරුවා සති දෙකක් තිස්සේ අතුරුදන්


(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය යාය 7 බිසෝ බණ්ඩාරගම ප්‍රදේශයේ අවුරුදු 11 පමණ වයසැති පිරිමි දරුවෙකු පසුගිය සැප්තැම්බර් මස 16 වන දින තම මව සමඟ පොලොන්නරුව මහ රෝහලට ප්‍රථිකාර ගැනීමට පැමිණි අවස්ථාවේදී අතුරුදන්ව ඇතැතැයි පොලොන්නරුව පොලිසිය කියයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ අංක 79, යාය 7, බිසෝබණ්ඩාරගම, මැදිරිගිරිය ලිපිනයේ පදිංචි ආර්.පී ප්‍රවීන් චින්තක නැමැති වයස අවුරුදු 10 වයසැති දරුවෙකි.

බිසෝබණ්ඩාරගම ප්‍රාථමික විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දරුවාගේ අසනීපයක් සඳහා පසුගිය සැප්තැම්බර් මස 16 වන දින දරුවාත් දරුවාගේ මවත් පොලොන්නරුව මහ රෝහලට ප්‍රථිකාර ගැනීමට පැමිණ ඇති අතර මව දරුවාට ප්‍රථිකාර ගැනීම සඳහා තම වාරය පැමිණෙන තුරු පෝලිමේ සිටින අතර තුර දරුවාට වැසිකිලියට යාමට අවශ්‍ය වී එම ස්ථානයෙන් බැහැරට ගිය අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ පා තිබේ.

දරුවාගේ මව  මේ පිළිබඳව රෝහල් පොලිසියේ නිළධාරීන් දැනුවත් කර ඒ අයත් සමඟ දරුවා සෙවූ බවත් නමුත් දරුවා හමු නොවී ඇති අතර අනතුරුව මේ පිළිබඳව පොලොන්නරුව පොලිසියට පැමිණිලි කර ඇති අතර දරුවා අතුරුදන්ව දින 19 ගෙවී ගියද අද වන තුරුත් තම දරුවා පිළිබඳව කිසිම හෝඩුවාවක් නොලැබුණ බව ඇය පැවසුවාය.

දරුවාගේ අතුරුදන් වීම ගැන අතුරුදන්වීම පිළිබඳව මව වන  එච්.ඩී කුසුමා ජයන්ති මහත්මියට නෙතට නැඟුණු කඳුළු අතින් පිසදමමින් මෙසේ සඳහන් කළාය  

‘පුතාට සෑහෙන කාලෙක ඉදන් පපුවේ අමාරුවක් තිබුණා. මැදිරිගිරිය ඉස්පිරිතාලෙන් ගොඩක් සැරයක් බෙහෙත් ගත්තත් දරුවට සනීප නොවුන නිසා මම 16 වෙනිදා දරුවත් එක්කගෙන පොලොන්නරුව ඉස්පිරිතාලෙට ගියා. මම පෝලිමේ ඉන්න අතරතුර පුතාට වැසිකිලියට යන්න ඕනේ කිව්වා. මම දරුවත් එක්කගෙන යන්න හදනකොට පුතා මට කිව්වා අම්මා පොලිමේ ඉන්න මම ගිහින් එන්නම් කියලා ගියා. විනාඩි 15 විතර ගියත් පුතා ආයේ ආවෙ නැති නිසා මම පුතා හොයන්න කැන්ටිම ළඟ තිබුණ වැසිකිලිය ළඟට ගියා.

පුතාගේ හැඩරුව කියලා අහනකොට එතන හිටපු එක්කෙනෙක් මට කිව්වා පුතා මෙතන ඉඳගෙන ඉන්නවා දැක්කා ඊට පස්සේ කොහෙට ගියාද කියලා දැක්කේ නෑ කිව්වා. මගෙ මුළු සර්වාංගයම සීතල වෙන්න ගත්තා. අනේ මගේ දරුවා කොහෙද කියල බලන්න මම මුළු ඉස්පිරිතාලෙ හැම තැනම දිව්වා. ඒ වෙලාවේ රෝහල් පොලිසියේ මහත්තුරුත් ඇවිත් පාරේ හිටපු රථවාහන පොලිස් නිළධාරීන් එක්ක එකතුවෙලා පාරේ ගිය බස් කීපයකුත් නතර කරලා පුතා ඉන්නවද බැලුවා. ඒත් මගේ දරු පැටියා හිටියේ නෑ.

මම පොලොන්නරුව පොලිසියට ගිහින් මේ ගැන කිව්වා. ඊට පස්සේ මම දවස් දෙකක් රෑ එළිවෙනකල් ආපන ශාලාව ළඟට වෙලා දරුවා එයි කියලා බලන් හිටියා. ඒත් අදට දවස් 19 මගේ දරුවට මොකද වෙලා තියෙන්නේ කියලවත් මම දන්නේ නෑ.

එක දවසක් මම මහත්තයත් එක්ක පොලොන්නරුව පොලිසියට ගිහින් එන ගමන් හිඟුරක්ගොඩ කඩේකට ගියා තේ එකක් බොන්න. ඒ අය අපි ගොඩක් කල් ඉදන් අදුනනවා. කඩේ මුදලාලිගේ මල්ලියෙක් කිව්වා අපේ පුතා සුදු , උස, කෙට්ටු, වම් කකුලේ පනු දදයක් තියෙන වයසක මනුස්සයෙක් එක්ක ඇවිත් කෑම කාලා ගියා කියලා.

 ඊට පස්සේ මම ඒ වෙලේම පොලිසියට ගිහින් ‍මේ ගැන කිව්වා. ඒත් අද වෙනකල් මගේ දරුවා හොයා ගන්න පොලිසියෙන් මට සහයක් ලැබුනේ නෑ. 16 වෙනිදට කලින් දිනයක පුතා ගිය ඉස්කෝලෙ ළගට එයාගේ මාමා කෙනෙක් වෙනවා කියලා සුදු, උස, කෙට්ටු වයසක මනුස්සයෙක් ගිහින් තිබුණා. ඒ කියන පුද්ගලයා ගැන මට ලොකු සැකයක් තියෙනවා.

හෙට ශිෂ්‍යත්ව විභාගේ ප්‍රතිඵල එනවා අනේ ඒ ප්‍රතිඵල දැකල සතුටු වෙන්න අද මගේ පුතා අපි ළඟ නැති බව උතුරා ගිය මව් සෙනෙහසින් යුතුව ඇය හඬා වැලපෙන්නට විය.

පසුව අප මේ පිළිබඳව විමසීමට පොලොන්නරුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්.එම් ජරූල් මහතාගෙන් අප මේ පිළිබඳව කළ විමසුමකදී ඒ මහතා පැවසුයේ  දරුවා සෙවීමේ කටයුතු තවදුරටත් සිදු කරන බවයි.