මල්වානේ ඉඩම ගැන අහන්න බැසිල්ට උසාවි එන්න කියයි


හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට අයත් බව කියන මල්වානේ ඉඩම සම්බන්ධයෙන් කිසිවකු හිමිකම් නොකියන්නේ නම් එය විකුණා මුදල් නඩුවට බැර කරන ලෙස රජයේ සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අද (4) එම නඩුව කැඳවූ අවස්ථාවේ පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මල්වාන ගඟබඩ පාරේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට විරුද්ධව පූගොඩ අධිකරණයේ ගොනු කර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේ එම ඉල්ලීම සිදුකළ අතර බැසිල් රාජපක්ෂගේ නීතිඥ සංජය රණතුංග මහතා ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ ඉඩම සම්බන්ධ නියෝගයක් නිකුත් කරන්නේ නම් විත්තිකරු අධිකරණයේ සිටිය යුතු බවයි.

ඒ අනුව බැසිල් රාජපක්ෂට ලබන 7 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා නොතීසි නිකුත් කළේය.