මලයාසියා රැකියා වංචාකරු අල්ලයි


මලයාසියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචාවන් රැසක් සිදු කළ බව කියන පුද්ගලයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපාළේදී ආගමන විගමන නිලධාරීහු අද උදෑසන සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.

සැකකරු කුරුණෑගල   පදිංචි තිස් හැවිරිදි තරුණයකු වන අතර ඔහු පසුගිය ජනවාරි මාසයේ මලයාසියාවට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.  තවත් රැකියා ඒජන්තවරයෙකු සමග එක්ව සැකකරු මේ වංචාවන් සිදුකර ඇතැයි වාර්ථා වේ.

විදේශ ගමන් අත්හිටුවා ඔහු අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ විමර්ශන ඒකකය  කළ ඉල්ලීමක් අනුව නුගේගොඩ අධිකරණයෙන් ආගමන විගමන අංශයට ලබා දුන් ලබා දුන් නියෝගයක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා කීය.

සැකකරු අද උදෑසන ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 319 දරණ ගුවන්යානයෙන් මලයාසියාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී පැමිණීමේ පර්යන්තය බාරව රාජකාරී කළ ප‍්‍රධාන ආගමන විගමන නිලධාරීවරුන් වන ජයන්ත රත්නායක සහ ශ‍්‍රී ස්කන්ධ රාජා යන නිලධාරීන් වසින් අත් අඩංගුවට ගෙන ගුවන්තොටුපොළ පොලිසියට භාර දී ඇත.