මන්නාරම් සමුහ මිනීවලෙන් හමුවු සිරුරු 276 දක්වා ඉහළට


සිතුම් චතුරංග
          
මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේ හමුවූ සමූහ මිනීවල තුළ සිදුකළ කැණීම් වලදී කුඩා ළමුන් 21 දෙනෙකු ඇතුළු මිනිස් සිරුරු 276ක අස්ථි කොටස් හමුවූ බව අධිකරණ විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මෙම සමූහ මිනීවල දැනට හඳුනාගෙන ඇති පරිදි ලංකාවේ විශාලතම සමූහ මිනීවල බවත් සඳහන් කළේය.

අධිකරණ විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා එසේ පැවසූයේ 116 වැනි දිනට සිදුකළ කැණීම්වල වත්මන් තත්ත්වය මාධ්‍ය වෙත ඉදිරිපත් කරමිනි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා මෙසේ කීය. 

අද වන විට 116 වැනි දිනයටත් මේ කැණීම් කටයුතු සිදුකරනවා. එක් එක් පුද්ගලයකුට අයත් අස්ථි කොටස් 276 අප හඳුනාගෙන තිබෙනවා. ඉන් 21 දෙනෙකු කුඩා දරුවන්ගේ අස්ථි කොටස්. මේ වනවිට සමූහ මිනීවල තුළින් අස්ථි  269ක් මෙම ස්ථානයෙන් ඉවත් කරලා මන්නාරම අධිකරණ භූමියේ පිහිටි ආරක්ෂිත කුටියක තැන්පත් කර තිබෙනවා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ.

මෙම සමූහ මිනීවල පිහිටි ස්ථානයේ කැණීම් කිරීම සඳහා නවීන ආකාරයේ තාක්ෂණික ක‍්‍රම උපයෝගී කරගෙන තමයි කැණීම් සිදුකරනු ලබන්නේ. එසේ සිදුකරන්නේ ඒවායේ දත්ත ආරක්ෂාවන අන්දමට හා විද්‍යානුකූලවයි. දැනට මෙම ස්ථානයේ මෙතෙක් සිදුකළ කැණීම් වලදී අපට දත්ත ලැබී නැහැ කාගේ කවුරුන්ද මෙතැන සිටින්නේ කියා. කිසිදු අයෙක් ඉදිරිපත්ව ප‍්‍රකාශකර නැහැ මෙහි කාලය හෝ මෙතැන සිටින්නේ කවුරුන්ද කියා. ඒ සියලූ ප‍්‍රශ්න සඳහා පිළිතුරු සෙවිය යුත්තේ අප විසින්මයි. මෙහි පළමුවෙන් අත්‍යවශ්‍ය වනවා මෙය කොපමණ කාලවකවානුවක සිදුවූ දෙයක්ද යන්න. 

මෙම අස්ථි කොටස් කාලවකවානු සොයාගැනීම සඳහා කාබන් කාලනීර්ණ පරීක්ෂණයකට යොමුකරන්න සිදුව තිබෙනවා. එය ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා ප‍්‍රාන්තයෙ පිහිටි බීටා ඇනලටික් ආයතනය වෙත යොමු කිරීමට කටයුතු සිදුකර තිබෙන්නේ. 

කැණීම් සිදුකරන අවස්ථාවේ එක්තරා අස්ථි කොටස් කිහිපයක දණහිසට පහළින් පිහිටි අස්ථි දෙක වටා යම්කිසි ද්‍රව්‍යක් පිහිටා තිබෙන අයුරු නිරීක්ෂණය වුවා. එය අපට නිශ්චිතව කිව නොහැකියි කුමක්ද කියා. එහෙත් විවිධ අර්ථකතන තිබෙනවා එය පාදවලට දැමූ යකඩ විලංගුවක් බවට නමුත් සම්පූර්ණ විශ්ලේෂණයකින් පසුව තමයි හරියටම ඒ පිළිබඳ ප‍්‍රකාශයක් සිදුකරන්න පුළුවන් වන්නේ. නමුත් ඒ විදිහේ අස්ථි කොටස් තුනක් පමණ මෙම ස්ථානයෙන් හමුවූ අස්ථා සමඟ හමුවී තිබෙනවා.