මන්නාරම් මිනීවළෙන් ගොඩ ගත් සිරුරුවල සාම්පල් ගැනීම ඇරඹෙයි


(සිතුම් චතුරංග)
          
මන්නාරම  සමූහ මිනීව‍ළෙන් ‍සොයා ගත් සෙසු අස්ථි කොටස්වල කාබන් පරීක්ෂාව සිදුකිරීම  සඳහා එහි සාම්පල් ගැනීම ඊයේ (18) සිට ආරම්භ කළ බව එහි කැනීම් බාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සම්න්ද රාජපක්ෂ මහතා පවසයි.

මන්නාරම මහේස්ත්‍රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්, පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥ කැලණිය විශ්ව විද්‍යාල ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ නියෝජිතයින්, රාජ්‍යයේ රස පරීක්ෂක නිලධාරීන්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නීතීඥවරුන් ඇතුළු විශේෂ කණ්ඩායමක් ඉදිරිපිට නියමිත අස්ථි කොටස් සාම්පල ලබා ගැනීම සිදුකරන බව ඔහු සඳහන් කළේය.

මිනිවළ සම්බන්ධයෙන් දින 119 ක කාලයක් කැණීම් පරීක්ෂණ පවත්වා ඇති අතර, එයින් මිනිස් අස්ථි කොටස් 280 කට අදාළ අස්ථි විමර්ශන නිලධාරීන් විසින් හඳුනා ගනු ලැබීය.

අධිකරණ වෛද්‍ය නිලධාරී රාජපක්ෂ මහතා  වැඩිදුරටත් පැවසූයේ අස්ථි කොටස් සාම්පල 6ක් කාබන් පරීක්ෂාවට යොමු කරන බවත් සමූහ මිනිවළ භූමියේ ස්ථාන හයකින් අස්ථි සාම්පල ලබාගැනීමට නියමිත අතර, මේ වන විට අස්ථි කොටස් සාම්පල දෙකක් ලබාගෙන ඇති බවයි.

අනෙකුත් අස්ථි කොටස් සාම්පල අද (19) ලබා ගැනීමට නියමිතය.

කාබන් පරීක්ෂාවට යොමු කරන අස්ථි කොටස් ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමු කිරීමට නියමිත බවද ඔහු කියා සිටියේය.

හඳුනාගත් අස්ථි කොටස් තුළින් මිනිස් සිරුරු 273 කට අදාළ සිරුරු ගොඩගෙන ඇති බවත්,ගොඩගත් අස්ථි කොටස් මන්නාරම අධිකරණ සංකීර්ණයේ වි‍ශේෂිත කුටියක තම ආරක්ෂාව යටතේ තැන්පත් කර ඇති බවත් පැවසේ.

(ඡායාරූප - සිතුම් චතුරංග සහ වන්නි රොමේෂ්)