(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම,පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලෙහි කළ කැණිම් තුළින් අද (19) වන විට සිරුරු 136 ක් හමුවී ඇති බවටත් ඒ අතර කුඩා ළමුන් 14 දෙනෙකුගේ සිරුරු කොටස් හමු වී ඇති බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු අද වන විට 74 වන දිනට සිදු කෙරෙන අතර කුඩා ළමුන්ගේ සිරුරු කොටස් ප්‍රමාණය පසුව දෙවනුව සිදු කරන විශ්ලේෂණයෙන් වෙනස් විය හැකි බවටත් මේ වන විට සිදු කරන මූලික කැනීම් වලදී ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු අස්ථි කොටස් 14 ක් සොයාගෙන ඇති බවටත් සඳහන් කළේය.
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසූවේ වල තුළින් ගොඩගත් සිරුරු 136 න් සිරුරු 130 කට අදාළ අස්ථි තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කර ඇති අතර,ගොඩගත් අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීමක් වෙනුවෙන් රසායනාගාරයක් වෙත යැවීමට නියමිතය.
මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.
මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස් රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කළේය.
වර්ථමානයේ මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.