මන්ත්‍රීලා 175 න් 80ක්ම වත්කමට පිටුපාලා


(සුජිත් හේවාජුලිගේ)

වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීම සඳහා ලබාදී තිබූ කාලය  පසුගිය ජුනි මස 30  වැනිදා අවසන් වුවද   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  175  දෙනාගෙන්  80 දෙනකුම  වත්කම් බැරකම් ප්‍රකාශ   කතානායකවරයාට  බාරදී නැතැයි වාර්තාවේ.

ඉන් වැඩි පිරිසක් ආණ්ඩුවේ මන්ත්‍රීවරු  වෙති.

ජුනි මස 30 වැනිදාට වත්කම් බැරකම් ප්‍රකාශ බාරදී තිබූ මන්ත්‍රී  ලැයිස්තුව පාර්ලිමේන්තු  ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට  පෙරේදා  (2) බාරදෙනු ලැබීය.

මේ අනුව එම කොමිෂන් සභාව වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී නිත්‍යානුකූලව කටයුතු කරනු ඇතැයි
ආරංචි මාර්ග සඳහන් කළේය. නව කොමිෂන් සභා පනත අනුව  වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හරින මන්ත්‍රීවරුන්ගේ  වැටුපෙන් තුනෙන් එකක අධිභාරයක් අයකිරීමටද  කොමිෂන් සභාවට බලය ඇත්තේය.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම සෑම වර්ෂයකම මාර්තු මස 31 වැනිදාට පෙර පැවතුණු සියලුම වත්කම් පිළිබඳ විස්තර කතානායකවරයාට බාරදිය යුතුව ඇත.මේ අතර පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතු කළ  හිටපු මන්ත්‍රීවරුන් සහ  මන්ත්‍රී කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන්  බහුතරයක්ද  වත්කම් බැරකම් ප්‍රකාශ අදාල ප්‍රධානීන්ට බාරදී නැතැයි  දැනගන්නට ඇත.