මන්ත්‍රීනි ශෂිදරන් මාරාන්තික උපවාසයකට සැරසෙයි


යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාර වී අතුරුදහන් වූවන් සොයා දීම සම්බන්ධයෙන් රජය සැලකිල්ලක් නොදක්වන නිසා අතුරුදහන් වූවන් සොයා දෙන්නැයි බලකරමින් ලබන ඉරිදා (22) මාරාන්තික උපවාසයක් අරඹන බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් මහත්මිය පවසයි.

අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාරවී අතුරුදහන්ව සිටින  තම සැමියා ඇතුළු ලක්ෂ සංඛ්‍යාත අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජය කිසිදු සැලකිල්ලක් නොදක්වීම තම මාරාන්තික උපවාසයට හේතු වූ බවද ඇය කියා සිටින්නීය.

කොටි සංවිධානයේ ත්‍රීකුණාමලය බාර නායකයාව සිටි සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ද අවසන් යුද සමයේදී 58 වන සේනාංකය හරහා ආරක්ෂක හමුදාව වෙත බාර වූ බවත් ඔහු අදට පවා අතුරුදහන්ව සිටින බවත් විශේෂයෙන් ඔහු පිළිබද දැනගැනීමේ අරමුණින් තමා මෙම තීරණය ගත් බවත් ඇය කියා සිටින්නීය.