(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච්.එම්.ධර්මපාල)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුතෙකුට උල් පිහියක් පෙන්වා මාලයක් සහ මුදල් කොල්ලකෑ "රොක්ශි වත්තේ රංජි" නැමති සැකකරු දෙහිවල දී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
සැකකරු එදින කොල්ල කන ලද රුපියල් එක් ලක්ෂ හැටදහසක් පමණ වටිනා සුදු රත්තරන් මාලය සැකකරු සන්තකයේ තිබීයදි පොලීසිය මගින් සොයාගෙන ඇත .
ඉකුත් 3 වැනි දින සිය පෙම්වතිය සමග බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසල මෝටර් රථය නවතා කතාබස් කරමින් සිටියදී සැකකරු පාපැදියකින් මෝටර් රථය අසලට පැමිණ මුදල් ඉල්ලා තිබේ.
මුදල් නොමැතිබව පැවසූ විට ක්ෂණයකින් සැකකරු උල් පිහියක් ඔවුන් වෙත එල්ල කර මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත තිබුණු රුපියල් 3000 ක කොල්ල කා තිබූ අතර සැනින් මෝටර් රථය තුළ තිබූ බෑගයක් කොල්ල කෑමට උත්සාහ දැරීමේදී එහි තුළ තිබූ සුදු රත්තරන් මාලය මාර්ගයේ පිටතට විසිවී තිබුණි.
අවස්ථාවෙහිදී සැකකරු එයත් අවුලාගෙන පාපැදියෙන් ම පලා ගොස් තිබූ බව පොලිසිය කියයි

