මනම්පේරිගේ සහෝදරිය මානව කොමිසමට යයි


(සුජිත් හේවාජුලිගේ)

අයිස් අමුද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ  හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් සේනාධීර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරිය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත

මිද්දෙණිය, තලාව, කාරියමඩිත්ත ප්‍රදේශයේ ඉඩමක රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් වළදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් සේනාධීර පෙරේදා (06) දහවල් අත්අඩංගුවට ගෙන තිබිණ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, තම සහෝදරයා අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය (STF) අත්තනෝමතික ලෙස කටයුතු කළ බවයි.

එය දේශපාලන පළිගැනීමක් බවද  ඇය කීවාය

එමෙන්ම තම සහෝදරයාව අත්අඩංගුවට ගැනීමේදී එම නිලධාරීන් තම පවුලේ සාමාජිකයින්ට, අසභ්‍ය වචනවලින් බැන වදිමින් දැඩි අපහසුතාවයට පත් කළ බවද  ඇය චෝදනා කළාය.

මෙම  සිද්ධිය සම්බන්ධයෙන් තම දරුවන්ගේ මානසිකත්වයට බරපතළ හානි සිදුවී ඇති බවත්  මානසිකව වැටී සිටින තම දරුවන් පාසල් යාම පවා ප්‍රතික්ෂේප කර ඇති බවත්  සඳහන් කළාය.