මධ්‍යම තැපැල් හුවමාරුව වහයි


(විනීතා එම් ගමගේ)           

කාර් ය මණ්ඩල සාමාජිකයකෙුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළි වීම  නිසා මධ්‍යම තැපැල්  හුවමාරුව වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමනු  ලැබ ඇත.        

එහි එක් අංශයක සේවකයෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇතැයි අද (5) පෙරවරුවේ හෙළිවීමත් සමග ආශ්‍රීත සේවක පිරිස් පීසීආර් පරික්ෂණ සඳහා යොමු කර එහි ප්‍රතිඵල අනුව කටයුතු කරන බවත්, ගොඩනැගිලි විෂබීජහරණය කිරීමෙන් පසු යළි විවෘත කරන බව නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් රාජිත රණසිංහ මහතා පැවසීය.        

මධ්‍යම තැපැල් හුවමාරුව සති කිහිපයක් තිස්සේ හුදකලාව කටයුතු කළ අතර මහජන පැමිණීම් සිදුවූයේ නැත. ඖෂධ සැපයීම් කටයුතු මෙහෙයවිම පමණක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් සිදුකළ බව ද රණසිංහ මහතා කීය.           

මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා ඇති බැවින් බස්නාහිර පළාත දකුණ නියෝජ්‍ය තැපැල්පති කාර්යාලය හරහා ඖෂධ බෙදාහැරිම් කටයුතු සම්බන්ධීකරණය කරන බවත් කොළඹ ප්‍රාදේශිය තැපැල් අධිකාරිවරයා එම කටයුතු මෙහෙයවනු ඇති බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

විෂබීජහරණ කටයුතු වලින් පසු ඉක්මණින්ම මධ්‍යම තැපැල් හුවමාරුව යළි විවෘත කරන බව ද ඔහු කියා සිටියේය.