මත්ද්‍රව්‍ය ජාවාරකම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කිරීමේ වැඩපිළිවෙළක්


(තරිඳු ජයවර්ධන, ඡායාරූප ගයාන් අමරසේකර)

රුපියල් කෝටි 15ක පමණ හෙරොයින් තොගයක්   අත්අඩංගුවට ගත් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා  සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා විශේෂ ඇගයීමකට ලක් කරමින් ලබන සතියේ මුදල් ත්‍යාග   සහ වෘත්තීය දීමනා ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා  පැවසීය.

විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය වැටලීම් සාමාන්‍යයෙන් කරන්නේ ඊටම විශේෂ වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් බවත්, වෙනත් රාජකාරි අතරතුර ග්‍රෑන්පාස් පොලිසියේ නිලධාරීන් තිදෙනා කළ මෙම වැටලීම සුවිශේෂීකොට සලකන බවත් ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. හෙරොයින් ජාවාරමට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා දින හතකට අධිකරණයෙන් ලබා ගත් රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා එලෙස සඳහන් කළේ  කොළඹ 10 මිහිදු මාවතේ පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක බී. ඒ. ඊ. පී. ලක්සිරි, පොලිස් කොස්තාපල්වරුන් වන ඩබ්ලිව්. ඒ. පී. එස්. කුමාර (84832) සහ ඒ. එස්. එච්. ධර්මසිරි (83766) යන නිලධාරීහු එම වැටලීම කළහ.

එම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මෙසේ ද පැවසීය.

‘‘මෙම වැටලීම අපි සලකන්නේ සුවිශේෂී වැටලීමක් ලෙසයි. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ගෙන්වන පුද්ගලයාත් ඒ අතර සිටිනවා“

 පැය 24 වැනි කෙටි කාලයකදී තමයි මෙම වැටලීම කළේ.  තවත් සැකරකුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරගෙන යනවා. මත්ද්‍රව්‍ය ජාවාරකම්කරුවන්ගේ සියලු දේපොළ රාජසන්තක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ගැන රහස් පොලිසිය, පොලිස් නීති අංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව සාකච්ඡා කරගෙන යනවා 

 පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් 2016 වසරේ හෙරොයින් කිලෝ 206ක් අත්අඩංගුව ගත්තා. ඒ අනුව හෙරොයින් ජාලය බිඳ දමන්න හැකි වී තිබෙනවා.‘‘ යැයි ද ජයකොඩි මහතා කීවේය.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා අදහස් දක්වමින් මෙසේ ද කීවේය.

‘උප පොලිස් පරීක්ෂක ලක්සිරි තරුණ නිලධාරියෙක්. මෙතරම් විශාල වැටලීමක් කරන්න පුළුවන් වුණේ ඔහු ඇතුළු පොලිස් නිලධාරීන් තුන් දෙනාගේ විමසිලිමත්කම නිසයි. මත්ද්‍රව්‍ය සමග කෝටි ගණනක දේපළත් සොයා ගත්තා. මෙම ජාවාරම කරගෙන ගොස් තිබුණේ බුදු මැදුරක්, දේවාලයක් දාගෙනයි. සැකකරුවන් සතුව තිබුණු රුපියල් අසූ ලක්ෂයක පමණ මුදලක් ද සොයා ගැනීමට හැකි වුණා.‘

කොළඹ උතුරු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලයනල් ගුණතිලක මහතා මෙසේ ද කීවේය.

‘වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් මට තොරතුරක් ලැබුණා.   ඒ සඳහා සුදුසු  නිලධාරීන් තිදෙනකු යොදවන ලෙස මම ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපතිට දැනුම් දුන්නා. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා එම කටයුත්ත මෙම උප පොලිස් පරීක්ෂකට සහ කොස්තාපල්වරුන් දෙදෙනාට බාර දුන්නා. ඔවුන් ඒ කටයුත්තට ගිය අතරතුර තමයි මෙම වැටලීම කර තිබුණේ. කුඩු සැකකරු හදුනා ගැනීමට ඔවුන් තුළ තිබුණු දක්ෂතාවය ගැන අපිටත් පුදුමයි. ඒ වගේම මුදල් සඟවා තිබුණු තැන සොයා ගත්තේ පොලිස් පරීක්ෂකවරයෙක්. එයත් හොඳ වැටලීමක්. ප්ලාස්ටික් බටයක් තුළ මුදල් සඟවා තිබුණේ කිසිවකුට සැක නොසිතෙන ලෙසයි. පොලිස්පතිවරයා පොලිස් ස්ථානයටම ඇවිත් මේ නිලධාරීන් අගය කළා.‘ යැයි ද ගුණතිලක මහතා පැවසීය.