මත්තල මුල්ම වැටලීමෙන් කෝටි හතරක රන්


රුපියල් කෝටි හතරකට  ආසන්න  වටිනාකමින් යුතු වටිනා මැණික්,  ස්වර්ණාභරණ, ඇමරිකන්  දියමන්ති සහ මුතු තොගයක්  තම ගමන් මල්ලේ  සගවාගෙන   බැංකොක් සිට මෙරටට  පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකු මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද උදෑසන අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය  ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමණී මහතා කීවේය.

සැකකරු කොළඹ ප‍්‍රදේශයේ පදිංචි 58 වියේ පසුවන  ප‍්‍රසිද්ධ  මැණික් හා ස්වර්ණාභරණ  ව්‍යාපාරිකයෙකි.
අත් අඩංගුවට ගනු ලැබූ   ස්වර්ණාභරණ වල බර ග්‍රෑම් 2326 ක් වූ  අතර  එහි වටිනාකම රුපියල් දෙකෝටි තිස් අට ලක්ෂ හැත්තෑ අට දහස් පන්සිය හතලිස් පහකි.

මේ අතර  ග්‍රෑම් 241.19 ක් බර මැණික් ගල්ද විය.  එහි වටිනාකම රුපියල් පන් ලක්ෂ අනූ දෙදහස් හත්සිය හතලිස් එකකි. 

 මීට අමතරව  දියමන්ති ග්‍රෑම් 3.29 ද වූ අතර එහි වටිනාකම විසි හත් ලක්ෂ අනූ හත් දහස් අටසිය හැත්තෑ තුනකි.

අත් අඩංගුවට ගනු ලැබූ ඇමරිකානු දියමන්ති වල බර  ග්‍රෑම් 4077 හා වටිනාකම රුපියල් විසිහත් ලක්ෂ විසි හය දහස් දෙසිය අසූවක් විය.

 මීට අමතරව මුතු 500 ක් ද තිබූ බව රේගුව කියයි.

මොහු අද  උදෑසන  අටයි තිහට පමණ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 827 දරණ ගුවන්යානයෙන්  තායිලන්තයේ බැංකොක් නුවර  සිට මෙරටට පැමිණ ඇත.

රේගු නිලධාරීන් විසින්  සැකකරුගේ  ගමන් මළු  ස්කෑන් යන්ත‍්‍රයට දමා පරික්ෂා  කිරීමේදී  සැක සහිත යමක් ඇති බවට සංඥාවක් ලැබී ඇත. මේ පිළිබඳව මොහුගෙන් ප‍්‍රශ්ණ කිරීමේදී විද්‍යුත් කේතලයක් සහ ස්වර්ණාබරණ නිෂ්පාදනය කරන  මෙවලම්  කිහිපයක් ඇති බව ඔහු රේගුවට පවසා ඇත.  එහෙත් රේගු නිලධාරීන් විසින් වැඩිදුර පරික්ෂා කිරීමේදී මෙම මැණික් ගල් සහ ස්වර්ණාභරණ  තොගය සොයාගත් බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් (ප‍්‍රාදේශීය)  එස්. රාජෙනද්‍රන් මහතාගේ අධීක්ෂනය යටතේ  රේගු අධ්‍යක්ෂක(ප‍්‍රාදේශීය)  කේ.කේ විතාන සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඞී.එන් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ජගත් ඔබේසේකර, ඩබ්ලිව්.කේ රන්දෙණිය සහ සහකාර රේගු අධිකාරී චන්දිම කරුණාරත්න, රුවන් බංඩාර, ඒ.ඥානමෝහන්, ඇලෙක්ස් පෙරේරා, සනත් සිල්වා, චන්දන රත්නායක සහ සංජීව ලොකුගම  යන  නිලධාරීහු සිදු කරති.