(කේ බුද්ධික කුමාරසිරි)
නවගමුව නාකඩමුල්ල ප්‍රදේශයේ නිවසක් තුල අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සාදයක් පැවැත් වූ අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන "චොරා" සමග කාන්තාවන් සිව් දෙනකු ඇතුලු පුද්ගලයන් දස දෙනකු අයිස් මත් ද්‍රව්‍ය සමගින් අද (03) දින සවස සැකපිට අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
නිවසක් තුළ අධික ශබ්ද නගා ගීත වාදනය කරමින් මත් සාදයක් පැවැත්වෙන බවට නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලයනල් සේනානායක මහතා ට ලද තොරතුරක් මත ඒ මහතා ප්‍රමුඛ පොලිස් නිළධාරීන් කණ්ඩායමක් අදාල නිවස වටලා ඇත.
පොලිසිය අදාල නිවසට ළඟා වනවාත් සමග එතෙක් වාදනය කරමින් තිබූ ගීත නවතා දමා නිවස තුල සිටි පිරිස සැගවුණු බවත් පසුව පොලිසිය කිහිපවරක් දැනුම්දීම් සිදුකර නිවසේ දොරගුළු විවෘත කර සිදු කල පරීක්ෂාවේදී අධික ලෙස මත්ව නිවසේ තැනින් තැන සැගව වැතිරී සිටි පිරිස සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් පිරිස සෝදිසියට ලක් කිරීමේදී හැද සිටි ඇදුම් තුළ සගවා ගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.

