(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගොඩබිම තුළදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් වැඩිම මුදල ලෙස කෝටි 28ක මුදලක් කුරුණෑගල ප්‍රදේශයේ නිවසක තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් නිලධාරීන් විසින් සොයා ගත් බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීර සූරිය මහතා අද (17) පැවසීය.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩ බලන පොලිස්පතිවරයා පැවසුවේ දැනට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවය.
එම වැටලීමෙන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
ප්‍රධාන සැකකරු පිටුපස සිටින දෙවන සහ තෙවන පෙලේ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 1415ක් හඳුනා ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදු කරනබවද වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය.
වත්මන් රජය පත් වූ දිනයේ සිට මේ දක්වා පොලිසිය විසින් සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝ 373ක්, ගංජා සහ කේරළ ගංජා කිලෝ 3504 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 751ක්, කොකේන් කිලෝ 3.7ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවද වීරසූරිය මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය වැටලීම් ඇතුළු මෙහෙයුම් සිදුකිරීම සඳහා පොලිස් නිලධාරීන් 22,000 කගේ අඩුවක් පවතින අතර ඉදිරියේදී පොලිස් නිලධාරීන් 10,000 ක් බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවද වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීර සූරිය මහතා පැවසීය.