(ප්‍රසාද් රුක්මල්)
පස්සර මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ 25 කනුව ප්‍රදේශයේ අද (16) රාත්‍රි සිදු වූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇණ හිට ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි .
පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ 25 කනුව ප්‍රදේශයේදී මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටී ඇති අතර ,වර්ෂාවත් සමඟ මේ වනවිටත් පස්කදු මාර්ගයට කඩා වැටෙමින් පවතින බව මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච් .පී දිසානායක මහතා පැවසීය .
එම පස්කදු කඩා වැටෙන ස්ථානයේ මාර්ගයට කඩා වැටී මේ අනතුරුදායක ලෙස විශාල ගල්පර්වතයක්ද තිබෙන බව පොලිසිය සදහන් කළේය .
කෙසේ වෙතත් මාර්ගය ට කඩා වැටී ඇති විශාල පස්කන්ද ඉවත් කිරිමට අපහසු බවත්, පවතින වර්ෂාවත් සමඟ තවදුරටත් පස්කදු කඩා වැටෙන හෙයින් එම ඉවත් කිරිමේ කටයුතු සිදු කිරීමට බාධාවක් වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි .
මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගය වෙනුවට මැටිගහතැන්න අම්බලම හරහා ලුනුගල පස්සර මාර්ගය භාවිතා කරන්නැයි මඩොල්සිම පොලිසිය රථ වාහන රියදුරන්ට දැනුම් දෙයි .