මට මිනිස්සු සතුටු කරන්න පුළුවන් කට හඬක් තියෙනවා


‘අවසාන මොහොත මාගේ’, ‘ආදරේ’, ‘බඹර නාදේ’ ගීත හරහා රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත් මොහු වර්තමානයේ ‘මග බලා හඬන’, ‘සතුට මගේ’ ගීත තුළින් වඩාත් කතාබහට ලක්විය. නිතරම සංගීත ක්ෂේත්‍රය තුළ වෙනසක් ඇති කරන්නට උත්සාහ කරන්නෙකු ලෙස ප්‍රසිද්ධ වී සිටින ඔහු නමින් බාචි සුසාන්ය. මෙවර ‘තරුණයා’ තරු කතාබහ දිගහැරෙන්නේ ඔහු සමගිනි.

 

ඔබේ අලුත් ගීත කිහිපයක් එළිදක්වන්න සූදානමක් තියෙනවා කියලා ආරංචියි?

ගීත නම් බොහෝ ප්‍රමාණයක් මම නිර්මාණය කරලා තියෙනවා. නමුත්, මම හැමවෙලාවෙම උත්සාහ කරන්නේ අලුත් දෙයක් මගේ ආදරණීය රසික, රසිකාවියන්ට දෙන්න. ඒ නිසා කරන නිර්මාණය පිළිබඳව මම ගොඩක් හිතනවා, මේක වර්තමාන රසික පිරිසට ගැළපෙයිද? අද රැල්ලට ගැළපෙයිද? කියලා. ඉතින් ඒ සියලු දේවල් බලලා තමයි මම නිර්මාණ එළිදක්වන්නේ. දැනට තීරණය කරලා තියෙනවා ගීත 4ක් එළිදක්වන්න. ඒවට රූප රචනත් නිර්මාණය කරලා ඉදිරි කාලයේදී එළිදක්වන්න සූදානම් කරලා තියෙනවා.

 

20170118Bachi-1නිතරම වෙනස් දේවල් කරන්න ඔබට හිතෙන්නේ ඇයි?

මම ක්ෂේත්‍රයට ආවේ කණ්ඩායම් සංගීතය හරහා. මට හොඳ හඬක් තියෙනවා. ඒ වගේම මගේ පවුලේ බොහෝ පිරිසක් සංගීතයට, ගායනයට සම්බන්ධ වෙලා ඉන්නවා. මට උපතින් ලැබිච්ච හැකියාවකුත් තියෙනවා. අන්න ඒ නිසා තමයි මම අලුත් දේවල් අත්හදා බලන්න උත්සාහ කරන්නේ. අද කරන නිර්මාණය නෙමෙයි මම හෙට කරන්නේ. අද කරන නිර්මාණයට වඩා මම හෙට කරන නිර්මාණය ඊට හාත්පසින්ම වෙනස් එකක් වෙන්න පුළුවන්. මම කැමතියි නැහැ හැමදාම එකම තැන රැඳිලා ඉන්න. අපි ලෝකයත් එක්ක ඉදිරියට යන්න ඕන.

 

අද තියෙන රැල්ලත් එක්ක ඔබ කරන මේ නව නිර්මාණ ගැළපෙයිද?

මම අද තියෙන රැල්ලත් එක්ක යන කෙනෙක්. මම කියන්නෙ නැහැ ඒ රැල්ලෙන් මිදෙනවා කියලා. එහෙම කරන්න බැහැ. අද තියෙන රැල්ලට මිනිස්සු කැමතියි. ඉතින් ඒ රැල්ලෙන් මිදෙන එක අපරාධයක්. නමුත්, මම කැමතියි ඒ රැල්ලෙන් මිදෙන්නේ නැතිව වෙනස් නිර්මාණ කරන්න.

ලංකාවේ බිහිවූ අග්‍රගණ්‍ය ගායන ශිල්පියෝ තමයි සුනිල් ශාන්තයන්, අමරදේවයන් කියන්නේ. ඔවුන්ගේ ගීතවලට අදත් කැමති බොහෝ පිරිසක් ඉන්නවා. මම අදහස් කරමින් ඉන්නවා ඉදිරියේදී ඔවුන් ගැයූ සුභාවිත ගීතවලට සමාන ගීත කිහිපයක් නිර්මාණ කරන්න. දැනටත් මම එවැනි ගීත දෙකක් නිර්මාණය කරමින් යනවා. බොහෝ විට මේ ගීත හරහා යම් වෙනසක් සංගීත ක්ෂේත්‍රය තුළ කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.

 

20170118Bachi-2මේ දවස්වල අපි ඔබ රියලිටි තරගයකිනුත් දකිනවා ?

ඔව්, හිරු රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කරන ‘හිරු මෙගා ස්ටාර්’ රියලිටි වැඩසටහනින්. මම ඉන්නේ සෙව්මිණි ඉද්දමල්ගොඩගේ ප්‍රමුඛත්වයෙන් තරග කරන ‘මායන්ස්’ කණ්ඩායමේ. මේක මට වෙනස්ම අත්දැකීමක්. ඉතින් මගේ පුළුවන් උපරිමය මේ කණ්ඩායම වෙනුවෙන් මම කරනවා. පසුගිය ටිකේ මට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න බැරි වුණා. මොකද, මම අසනීප තත්ත්වයෙන් පසුවූ නිසා. දැන්නම් ටිකක් සුවය ලබලා තියෙන නිසා ඉදිරියේදී නැවතත් මේ රියලිටි තරගයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා.

 

වර්තමානයේ බිහිවෙන ගීත රූප රචනා ගැන මොකද ඔබට හිතෙන්නේ?

අද අලුත් අලුත් නිර්මාණ බිහිවෙනවා මම දකිනවා. සමහර ඒවා අපේ සංස්කෘතියට නොගැළපෙන නිර්මාණත් තියෙනවා. අපි ලෝකයත් එක්ක ඉදිරියට යන්න ඕන, ඒක ඇත්ත. නමුත්, අපි අපේ සීමාවන් එක්ක ලෝකයත් සමග ඉදිරියට යනවා නම්, හොඳයි කියන මතයේ මම ඉන්නවා. මම කරන හැම නිර්මාණයකම හැමපැත්තක් ගැනම ලොකුවට හිතනවා. විශේෂයෙන්ම මා කරන රූප රචනාවල පවා හරවත් දෙයක් මිනිස්සුන්ට ලබාදෙන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉන්දියාවෙ නිර්මාණ වන ගොඩක් රූප රචනාවල ඔය තත්ත්වය තියෙනවා. ඔවුන් කරන්නේ වෙනත් රටවල තියෙන නිර්මාණවල කොටස් එකතු කරලා තමන්ගෙ නිර්මාණයක් විදිහට ඒක එළිදක්වන එක. ලංකාවේ නිර්මාණවලත් බොහෝ අවස්ථාවලදි වෙන්නේ ඒ දේ.

 

පසුගිය කාලේ ඔබ එළිදැක්වූ ගීත බොහෝමයක් ජනප්‍රිය වුණා. ඔබ දකින විදිහට එය ඔබගේ දක්ෂතාවය මත සිදුවූවක්ද වාසනාව මත සිදුවූවක්ද?

මට මිනිස්සු සතුටු කරන්න පුළුවන් කටහඬක් තියෙනවා. ඒ එක්කම මම කරන හැම නිර්මාණයක්ම එකිනෙකට වෙනස්. පසුගිය කාලේ මම කරපු නිර්මාණ මිනිස්සු අතරට යන්න ඒ කාරණා හේතු වුණා කියලා හිතනවා.

 

ප්‍රසංග වේදිකාවත් එක්ක ඔබ වර්තමානයේ කාර්ය බහුලද?

පසුගිය වසර 10ක කාලය ගත්තොත් මම ගොඩක්ම කළේ ප්‍රසංග වේදිකාවත් එක්ක කටයුතු කළ එක. ඒ කාලේ වගේ මට දැන් එක දිගට නිදිමරාගෙන ප්‍රසංග වේදිකා තුළ ගත කරන්න බැහැ. මට දැන් ගොඩක් වෙහෙසයි. ඒ හින්දා මම ප්‍රසංග වේදිකාවලට දැන් සම්බන්ධ වෙන්නේ තෝරාබේරා ගෙන. මගේ ගීත අහන්න උනන්දුවක් තියෙන පිරිසක් ඉන්නවා. අන්න ඒ ප්‍රසංගවලට නම් මම අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා.