හිටපු රූ රැජන පුෂ්පිකා ද සිල්වා මේ දවස් කිහිපය ගත කරන්නේ ඇඟිලි ගනිමින්. ඒ පුංචි පුතු දැකීමේ ආසාවෙන්. තව සතියකින් පමණ ඒ දවස උදාවෙනවා කියලා තමා පුෂ්පිකා හදසරට කිව්වේ. උතුම් වූ මව් පදවිය ලබන්න දින කිහිපයකට පෙර හදසර ඇය සමඟ කළ කතාබහයි මේ.
කොහොමද පුෂ්පිකා ජීවිතේ?
මට තව සතියකින් වගේ පුතා ලැබෙන්න තියෙන්නේ. ඉතින් පුංචි පුතාව දැකීමේ සතුටින් දින ගනිමින් ඉන්නවා.
‘බේබි ෂවර්’ උත්සවය ගැන කතා කළොත්?
ඔව්. ඒක සාමාන්‍යයෙන් කරන්නේ බබා ලැබෙන්න සති දෙකකට තුනකට කලින් වගේ. තමන්ගේ යාළුවො ඇවිත් සුභ පතලා, තෑගි බෝග දීලා තමන්ගේ මානසික සුවය වැඩි වෙන්නත් එක්ක සතුටින් ඒ කාලය ගතකිරීම තමා බේබි ෂවර් එකක් කීරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ.
පුෂ්පිකා බලාපොරොත්තු වුණෙත් පුතෙක්ද?
එහෙම නැහැ. ලැබෙන දරුවා දුවෙක්ද පුතෙක්ද කියලා නම් නෙවෙයි. හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේම මමත් තිලංකත් බලාපොරොත්තු වෙන්නේ නිරෝගී දරුවෙක්.
තිලංකගෙන් ලැබෙන ආදරය ගැන කතා කළොත්?
ඔව්. මම හිතන්නේ කාන්තාවන් කියන්නේ ගොඩක් ආදරය බලාපොරොත්තු වෙන අය. ඉතින් මමත් එහෙමයි. ගොඩක් ආදරය, කරුණාව, රැකවරණය කියන දේ බලාපොරොත්තු වුණු කෙනෙක්. තිලංකගෙන් මම ඒ බලාපොරොත්තු වුණු ආදරය කරුණාව රැකවරණය කියන දේ උපරිමයෙන් ලැබෙනවා. ඒ නිසා මම හැමවෙලේම හිතන්නේ මම හරිම වාසනාවන්තයි, ඒ වගේ ආදරයක් ලැබීම ගැන.
කොහොමද පුෂ්පිකාට ගෙදරින් ලැබෙන සහයෝගය?
උපරිම සහයෝගයක් මට හැමෝම ලබාදෙනවා ඒ වගේම මගේ අම්මා, තාත්තා, තිලංකගේ අම්මා තාත්තා නංගි සහ ආච්චිත් සීයත්, මේ හැමෝම මාව ආරක්ෂා කරනවා. හොඳට රැක බලාගන්නවා. ඒක ඇත්තටම හරි වටිනා දෙයක්.
පුෂ්පිකා දරුවා ලැබුණට පස්සෙත් ආයෙත් නිරූපණ ක්ෂේත්‍රයට එනවද?
නැහැ. එහෙම බලාපොරොත්තු නම් නැහැ. මොකද මම යන්න ඕනේ ඉහළම තැනට ගියා. මට බලාපොරොත්තුවක් තිබ්බේ ලෝක රූ රැජින තරගෙට යන්න. ඒක තමා මේ ලෝකේ තියෙන ලොකුම පැජන්ට් එක. එතනින් එහාට මට තිබ්බේ මගේ විවාහය ගැන බලාපොරොත්තුව වගේම හොඳ මවක් වෙනවා කියන එක. දැන් ඉතින් ඒ වෙනුවෙන් තමා මගේ කාලය කැප කරන්නේ. මම හිතන්නේ මගේ සිහින මම නිසි වයස තුළ ඉටුකරගත්තා. දැන් හොඳ බිරියක් සහ හොඳ මවක් විදියට මගේ පවුල් ජීවිතය රැකගැනීම තමා මගේ ජීවිත කාලයටම තියෙන එකම බලාපොරොත්තුව. එහෙම නැතුව මට යන්න වෙන තැනක් නැහැ. ලස්සන, ජනප්‍රියත්වය කියන දේ තාවකාලිකයි. කාන්තාවක් විදියට ලබන්න පුළුවන් උතුම්ම පදවිය තමා මව් පදවිය. මොන දේ ලැබුණත් වැඩක් නැහැ, මවක් වෙන්න බැරිනම්. මම හිතන්නේ මවක් වෙන හැම ගැහැනියක්ම අංගසම්පූර්ණ කාන්තාවක් කියලා.
විදෙස් ගතවෙන්න එහෙම අදහසක් නැද්ද?
මම නම් එදා ඉඳන්ම පිටරටවල ජීවත් වෙන්න ආස නැහැ. මම මගේ රටට ආදරය කරන තරම් මම වෙන කිසිම රටකට ආදරය කරන්නේ නැහැ. තිලංකත් එහෙමයි. ඉතින් ඒ නිසා පදිංචියට නම් අපි විදෙස් ගතවෙන එකක් නැහැ. නමුත් විදෙස් රටවල සංචාරය කරලා එන්න නම් ආසයි. ඒ නිසා අපි ගිහින් ඒවී.
අනාගත බලාපොරොත්තු මොනවද?
බලාපොරොත්තු කියලා ලොකු දේවල් නැහැ. මගේ පවුල් ජීවිතය, මගේ පවුලේ උදවිය සහ තිලංකගේ පවුලේ උදවිය සමඟ සහයෝගයෙන් සතුටින් හොඳින් ගතකිරීම, ඒ වගේම මගේ දරුවන් වෙනුවෙන් කාලය කැප කරලා එයාලගේ ඉගෙනීම් කටයුතුවලට, ජීවිතේ සාර්ථකත්වය කරා යන්න ඒ අයට ආදර්ශමත් මවුපියන් විදියට ජීවත් වීම තමා එකම බලාපොරොත්තුව.
අනූෂා රණසිංහ / සේයාරූ අනුග්‍රහය I studio 3000