(අංජුල මහික වීරරත්න)
අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වල නිරාවරණය වී ඇති විදුලි සංදේශ රැහැන් වලට හානි කිරීම හා කපා ඉවත් කිරීම වැළැක්වීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජන සහාය ඉල්ලා සිටී.
දිවයින පුරා පැවති දැඩි ආපදා තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය සන්නිවේදන රැහැන් (Fibre Optics සහ තඹ) කේබල් වලට හානි වී හෝ පොදු ප්‍රදේශවල ඒවා නිරාවරණය වීම හේතුවෙන් යම් තැනැත්තන් විසින් මෙම රැහැන් විශාල වශයෙන් කපා ඉවත් කිරීම සිදු කර ඇති බවත් එම හානි වළක්වා ගැනීම සඳහා මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරන ලෙසටත් ඩයලොග් ආසියාටා සමාගම විසින් පොලිස්පතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ආපදාවට ලක් වූ මාර්ග නැවත අලුත් වැඩියා කිරීමේදී ද භූගත විදුලි සංදේශ රැහැන් වලට හානි සිදුව ඇති බවටත් එම සමාගම වැඩිදුරටත් දන්වා ඇත.
මෙම තත්ත්වය සන්නිවේදන පහසුකම් කඩිනමින් යථාවත් කිරීමේ කාර්යයට දැඩි ලෙස බලපා ඇත. එබැවින් ආපදා තත්ත්වයෙන් නිරාවරණය වී ඇති සන්නිවේදන රැහැන් වලට හානි කිරීම, එවැනි රැහැන් කපා ඉවත් කිරීම, ලඟ තබා ගැනීම හෝ එවැනි පද්ධති වලට හානි සිදු කිරීම නොකරන ලෙසත් එවැනි ක්‍රියාවන් සිදු කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වන බවටත් පෙන්වා දෙන අතර මෙවැනි ක්‍රියා සිදු කිරීම සම්බන්ධව තොරතුරු වාර්තා වේ නම් ආසන්නතම පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
එසේම යම් ආපදාවකට ලක් වූ මාර්ගයක් නැවත සකස් කරන අවස්ථාවන් වලදී මෙවැනි භූගත විදුලි සංදේශ රැහැන් නිරීක්ෂණය වන්නේ නම් අදාළ ආයතනයන් වලට දැනුම් දීමට කටයුතු කරන ලෙසට ද දැනුම් දෙයි.

