මගේ ඉවසීමට හොඳ ප්‍රතිඵල ලැබුණා


2017-02-15-ent-59

ටෙලි හා සිනමා නළුවෙකු ලෙස ඔබේ ආදරය දිනාගත් සරාංග දිසාසේකර මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණ කිහිපයක් හරහා ඔබ දකිනවා. ඒ අතරින් ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ‘හාර කෝටිය’ ටෙලි වෘත්තාන්යේ ඔහු වෙනස්ම චරිතයක් තුළින් රසික ඔබ හමුවට පැමිණෙයි. මේ දිග හැරෙන්නේ ඔහුගේ වර්තමාන තතු පිළිබඳ කෙටි පිළිසඳරකි.

 

සරාංග මේ දවස්වල ටිකක් කාර්යබහුල කෙනෙක්?

2017-02-15-ent-58ඔව්, ස්වර්ණවාහිනියේ විකාශය වන ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් කටයුතුවලට මේ දිනවල දායක වෙලා ඉන්නවා. ඊට අමතරව මා දායක වුණ ‘නිදහසේ පියා’ හා ‘විශ්ම’ කියන චිත්‍රපට දෙක එන්න තියෙනවා. ඉතින් මේ වැඩ සියල්ල එක්ක ටිකක් විතර මම කාර්යබහුලයි.

 

සාරංගට පසුගිය කාලේ ටිකක් එකිනෙකට වෙනස් චරිත ලැබුණා නේද?

ඔව්, ‘කළු කුරුල්ලා’ නාට්‍යයේ ‘සුදු උක්කුවා’ කියන චරිතය මට වෙනස්ම අත්දැකීමක් ගෙනදුන් චරිතයක් වුණා. ටෙලි නාට්‍යය විකාශය වෙලා ඉවර වුණත් තවමත් ඒ චරිතයට ලැබෙන රසික ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ. මම කවදත් කැමතියි එවැනි අභියෝගාත්මක චරිතවල නිරත වෙන්න. ‘හාර කෝටියක්’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන ප්‍රකාශ් අයියා මට නිතරම එවැනි චරිත ලබාදුන්නා. ඔහු නිර්මාණය කළ ‘හංස පිහාටු’ ටෙලි නාට්‍යයේ පවා මම කරන්නේ වෙනස්ම චරිතයක්. ඊට අමතරව පසුගිය කාලයේ මා ටෙලි නිර්මාණ කිහිපයකම එකිනෙකට වෙනස් විවිධ චරිතවලින් ප්‍රේක්ෂකයන් හමුවුණා.

 

පුංචි තිරේට පමණක් සීමා නොවී ඔබ සිනමාව තුළත් අපි නිතර දකිනවා?

ඔව්, නමුත් පුංචි තිරේදී ලැබුණ චරිත එක්ක ගත්තොත් සිනමාව තුළ මට තවමත් එවැනි විශාල දෙයක් කරන්න ලැබුණේ නැහැ කියලා මට හිතෙනවා. ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේදී මාව තෝරගත්තේ එකම චරිතවලට. නමුත්, මම ඉවසීමෙන් හිටියා. පස්සේ මගේ රංගන හැකියාවන් තේරුම් ගත්ත අධ්‍යක්ෂවරු මාව වෙනස් චරිතවලට යොමු කළා. මම හිතනවා ඉදිරියේදි මට සිනමාව තුළත් එවැනි එකිනෙකට වෙනස් විවිධ චරිතවලින් මගේ රසික, රසිකාවියන් පිනවන්න පුළුවන් වේවි කියලා.

 

පුංචි තිරේට, සිනමා තිරේට වගේම වේදිකාවෙත් සාරංග අපි නිතරම දකිනවා?

සරත් කොතලාවලගේ ‘ඒකා සාක්කුවේ’ කියන වේදික නාට්‍යය සමගින් රට වටේ යනවා. මා දායක වුණ අනුර විතානච්චිගේ ‘මාර හොරු’ වේදිකා නාට්‍යය සමග මේ දවස්වල වැඩ කරනවා. ‘මාර හොරු’ නාට්‍යය මෙවර රාජ්‍ය නාට්‍යය උලෙළේ අවසන් වටයට දැනටමත් තේරිලා තියෙනවා. රාජ්‍ය නාට්‍යය උලෙළ අවසන් වෙද්දීම මේ නාට්‍යය වේදිකාගත කරන්න සූදානමක් තියෙනවා.

 

දැන් ගීත ගායනා කරන්න කැමැත්තක් නැද්ද?

තියෙනවා. ඒත්, මම මේ ගෙවන කාර්ය බහුලත්වය එක්ක ගී නිර්මාණයකට කාලය සොයා ගන්න එක ලොකු අපහසුවක් වෙලා තියෙනවා. නමුත්, අදහසක් තියෙනවා ඉදිරියේදී ගීතයක් එළිදක්වන්න. ඒත්, ඒක කවදා සිදුවෙයිද කියන එක දැන්ම කියන්න බැහැ. මා දායක වුණ බොහෝ ගී නිර්මාණ යුග ගීත නිසා ඉදිරියේදී මගේම කියලා නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - මිහිර බණ්ඩාර