( තිළිණි ද සිල්වා )
මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ වඩාත් කතාබහට ලක්වුණු චරිතයක් වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ නික්මයෑම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ දැඩි සංවේගය පළ කර ඇත.
සිය නිල ෆේස්බුක් පිටු ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, ලාංකීය දේශපාලන ගමන්මගෙහි විශාල පරිවර්ථනයන් මෙන් ම අරගලයන් දියත් කරමින් ලාංකීය ජනතාවට අමිල මෙහෙවරක් ඉටුකිරීමට සක්‍රීයව දායක වූ කෘතහස්ත දේශපාලනඥයකු වන එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිතුමාගේ හදිසි වියෝව සැලවීමෙන් තමන් ඉතා සංවේගයට පත්වූ බවය.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය පිළිබඳ අසා තමා මහත් කනගාටුවට පත්වු වු සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සදහන් කරන අගමැතිවරයා මෙසේද සදහන් කර ඇත. "කලක් අප සමඟ ඉතා ම සමීපව දේශපාලන කටයුතු කළ එතුමා අපේ කඳවුරේ ද පෞද්ගලිකව මගේ ද දේශපාලන කටයුතු සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දුන් හිතවතෙකි; දේශපාලනඥයෙකි; සටන් සගයෙකි.
මේ කනගාටුදායක අවස්ථාවේ මංගල සමරවීර මැතිතුමාගේ පවුලේ සැමට සහ හිතවතුන්ට මගේ ශෝකය ප්‍රකාශ කරමි.
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදු කෙරිණි.
එම අවස්ථාවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය , සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න , මුජිබර් රහුමාන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් , මංගල සමරවීර මහතාගේ හිතවතුන් බොහෝ දෙනෙකු සෞඛ්‍යාරක්ෂිතව එම අවස්ථාවට සහභාගී වූහ.
කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මංගල සමරවීර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.
සතියකට වැඩි කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිටි සමරවීර මහතා අසාධ්‍යව සිට ඔක්සිජන් ලබාදීමක් ද සිදුකළ බව වාර්තා විය.
කෙසේවෙතත් සමරවීර මහතා මරණයට පත් වූයේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය උත්සන්නවීමෙනි.

