‘මං පතනවා’ ගීතයෙහි පිළිතුරු ගීතය ගැයූ ගායිකාව වර්තමානය වනවිට බොහෝ රසික පිරිසක් ආදරය කරන තැනැත්තියක් බවට පත්ව සිටින්නීය. නමින් ඩිල්කි උරේෂා වන ඇය ඇගේ කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ සමගින් මෙලෙස දොඩමළු වූවාය.
මුලින්ම ඔයාව හඳුන්වා දුන්නොත්?
මම ගායන කේෂ්ත්‍රයට ඇවිත් තාම ටික කාලයයි.
ගොඩක් දෙනා මාව හඳුනගන්නේ ‘මන් පතනවා’ පිළිතුරු ගීතය හරහායි.
‘මං පතනවා’ පිළිතුරු ගීතයට ඉස්සෙල්ලා වෙනත් ගීත කරලා තියෙනවාද?
ඔව්.. ‘මාගෙත් ආයුෂ’ කියලා තවත් මගේම ගීතයක් තියෙනවා. ඒ ගීතයෙත් තනු නිර්මාණය කළේ අශාන් ප්‍රනාන්දු අයියා සහ ගීතය රචනා කළේ ඩිලාන් ගමගේ අයියා. එම ගීතය හරහා තමා මම ඒ අයව හඳුනගන්නේ. එම ගීතය සඳහා රූප රචනාවකුත් තියෙනවා. ඒක කළේ චමු ශ්‍රී අයියා.
ඒ ඔයාගේ පළමුවෙනි ගීතයද?
ඔව් ඒක මගේ පළමු ගීතය
දෙවැනි ගීතය ලෙසද ‘මං පතනවා’ ගීතයට පිළිතුරු ගීතයක් කළේ?
ඔව්.
ඇයි දෙවැනි ගීතය ලෙස පිළිතුරු ගීතයක් කරන්න හිතුවේ? ඒ ගීතයේ ජනප්‍රියත්වට ඒකට හේතුවක්ද?
ඇත්තටම දෙවැනි ගීතය ලෙස පිළිතුරු ගීතයක් කරන්න කියලා හිතන් හිටියේ නෑ. ඒත් අශාන් ප්‍රනාන්දු අයියා සහ ඩිලාන් අයියා කතා කරලා කිව්වා ‘නන්ගා මෙහෙම දෙයක් කරමු කියලා.’ ඉතින් එම ගීතයේ ජනප්‍රියත්වයත් එක්ක මට දුර ගමනක් යන්න පුළුවන් කියලා හිතුණා. එම පිළිතුරු ගීතයට මගේ හඬ තෝරාගත්තට ඒ දෙන්නටම මම මේ වෙලාවෙ ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
කොහොමද ඒ ගීතයට ලැබුණු ප්‍රතිචාර?
ඇත්තටම මම හිතුවට වඩා ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. හොඳ වගේම නරක ප්‍රතිචාරත් නොතිබුණාම නෙවෙයි. තාමත් ප්‍රතිචාර ලැබෙනවා.
අද බිහිවන ගීත පිළිබඳව ඔයාගේ මතය කොහොමද?
ගැළපෙන සහ නොගැළපෙන නිර්මාණ බිහිවෙනවා. නූතන සමාජයේ ජීවත්වන කෙනෙක් හැටියට මම වැරැද්දක් දකින්නෙත් නෑ.
ඒ කියන්නේ ඔබත් ඒ ගීත රසවිඳින කෙනෙක්?
මෙහෙමයි. මගේ රසවින්දනයට අනුව අහන්න ලැබෙන ඕනෑම ගීතයක් මම ගොඩක් කැමැත්තෙන් රසවිඳිනවා.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
පුංචි කාලේ ඉඳන්ම තිබුණු ලොකුම හීනයක් තමයි හැමෝම ආදරේ කරන ගායිකාවක් වෙන එක. ඉතින් ඒ හීනෙට තියපු පළවෙනි අඩි කිහිපය ගොඩක් සාර්ථකයි. තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි. මම නැති උනු දවසක වුණත් මගේ ගීතවලට මගේ කටහඬට ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්න ගායිකාවක් වෙන එක
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
අනිවාර්යයෙන්...පුංචි කාලෙ ඉඳන් මාව මේ තැනට ගෙනාපු මගෙ අම්මයි, තාත්තායි වගේම මගෙ බුද්ධිකා පුංචි, මගෙ ආච්චිඅම්මා, විශේෂයෙන්ම ඩිලාන් ගමගේ අයියා, අශාන් ප්‍රනාන්දු අයියා, චමු ශ්‍රී අයියා සහ මට වචනෙකින් හරි ශක්තියක් වුණු හැම කෙනෙකුටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.





