භූ කම්පන වලට හේතු හොයන්න පෙර හුණුගල් හෑරීම නැවැත්විය යුතුයි


 

(විනීතා එම් ගමගේ )
         

දිගන ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනය වික්ටෝරියා ජලාශ නිම්නයේ දිගින් දිගටම සිදුවන හුණුගල් හෑරිමේ ප්‍රතිපලයක් විය හැකි යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල  අබේරත්න මහතා පැවසීය.
         

මීට දෙමසකට ඉහත දී ද මෙවැනිම භූ කම්පනයක් මේ ආශ්‍රිත ප්‍රදේශයක සිදුවූ බවත් මේ භූ කම්පනවලට හේතුව සෙවීමට පෙර වහා වික්‍ටෝරියා නිම්නයේ හුණුගල් හෑරීම සම්පූර්ණයෙන් නතර කළ යුතු බවත් අනතුරුව සිදුකරන අධ්‍යයනයකින් මෙම භූ කම්පනවලට හේතුව සොයා පිළියම් කළ හැකි බවත් අබේරත්න මහතා කීය.


මේ වනවිට වික‍්ටෝරියා ජලාශ නිම්නයෙන් සියයට පණහක වපසරිය  ඇත්තේ හුණුගල් බවත් එහි විශාල වශයෙන් හුණුගල් හාරන බවත් මේ කටයුත්ත නැවැත්විය යුතු බව තමන් මීට පෙර සිදුවූ භූ කම්පනයෙන් පසුව ද බලධාරින්ට දැන්වූ බවත් හෙතෙම කියා සිටියේය.


 රිච්ටර් මාපකයේ 2.2 ක් සදහන් කරමින් ඊයේ සිදුවු කම්පනයය මෙන්ම මීට දෙමසකට පෙර සිදුවු කම්පනය ද භූමි කම්පා ලෙස ගිනිය නොහැකි යැයි පෙන්වා දුන් මහචාර්යවරයා මේවා සුළු කම්පන (COLAPSE QUAKE) ලෙස හැඳින්වෙන බව ද කිය.


සාමාන්‍යයෙන් හුණුගල් කාලයකදී දිරායන්නේ යැයි ද එවිට පොළව තුළ දෝනා සැකසෙන්නේ යැයි ද කී අබේරත්න මහතා මේ ප්‍රදේශය පුරා එසේ ඇති වූ උමං ගංගා ද පවතින බව අනාවරණය කළේය.

මෙවන් කම්පන සුළු කොට තැකිය නොහැකි යැයි ද, මධ්‍ය කඳුකරයේ පවතින විශාලතම ජලාශය වන වික්ටෝරියා ජලාශයට මෙයින් බලපෑමක් නැතැයි බැහැර කළ නොහැකි යැයි ද පැවසූ ඔහු ඉක්මණින්ම මෙම ප්‍රදේශයේ හුණුගල් හෑරිම නතර කිරීමට රජය පියවර ගත යුතු යැයි ද සදහන් කළේය.

මහාචාර්ය අබේරත්න මේ අදහස් පළ කළේ මහනුවර සිදුවු භූ කම්පනය ගැන විද්වත් මතය කුමක් දැයි ලංකාදීප ඔහුගෙන් කළ විමසුමක දීය.