
(සුමතිපාල දීයගහගේ)
අහංගම ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන්වහන්සේ නමක් මිනුවන්ගොඩ ඥාති නිවසකට ගොස් ආපසු විහාරස්ථානයට වැඩම කිරිම නිසා එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 16 නමක් අද (6) සිට විහාරස්ථානයේම ස්වයං නිරෝධායනයට යොමු කළ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පමෝද සිරිවර්ධන මහතා පැවසීය.
මෙම විහාරස්ථානයේ වැඩ සිටින එක් භික්ෂූන් වහන්සේ නමක් පසුගිය 29 වන දින දිවුලපිටියේ පදිංචි තම පුංචි අම්මාගේ නිවසට ගොස් එහි එක් දිනක් ගත කර පසු දින නැවත අහංගම විහාරස්ථානය වෙත වැඩම කර ඇත. මේ අතර ඊට පෙර මිනුවන්ගොඩ ඇගලුම් කම්හලක සේවය කරන සේවිකාවක් මිනුවන්ගොඩ පිහිටි එම නිවසට පැමිණි බව හිමියන්ගේ ඥාතින් විසින් අහංගම විහාරස්ථානයේ හිමියන්ට දැනුම්දී තිබේ.
එම සේවිකාව කොරෝනා ආසාදිතයකු යයි තහවුරුවී නැති බවද වාර්තාවේ. ඒ අනුව මෙම විහාරස්ථානයේ විහාරධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 16 නමක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
නිරෝධායනය වෙමින් සිටින අතරේ මෙම භික්ෂුන් වහන්සේලා පි සී ආර් පරීක්ෂණයකට යොමු කරන බවද වෛද්‍ය පමෝද සිරිවර්ධන මහතා පැවසීය.

