භික්ෂු පනතේ තීන්දුව කතානායකට


ථෙරවාද භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත කඩිනමින් දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි.

එම කෙටුම්පත අභියෝගයට ලක් කරමින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීරණය කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ විශේෂ පෙත්සම් තුනක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව සඳහන් කළේය.

මෙම විශේෂ පෙත්සම් සම්බන්ධ වාචාක කරුණු දැක්වීම් දින තුනක් සිදු කළ අතර ලිඛිත දේශන ලබන මස 01 වැනිදා ගොනු කරන ලෙස නීතීඥවරුන්ට නියමවිය.

ප‍්‍රියසාත් ඩෙප්, ඊවා වනසුන්දර සහ සිසිර ද ආබෲ යන ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවිණි.

ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කර එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමෙයේ ශාසනික ලේකම් බියගම සුසීල හිමි සහ නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව ඇතුළු තිදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මෙම පෙත්සම් හි  වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

ප‍්‍රශ්නගතවී ඇති වගන්තීන් කිහිපයක් අදාළ පනත් කෙටුම්පතෙන් ඉවත් කිරීමට සහ ඇතැම් වචන සංශෝධනය කිරීමට කටයුතු කරන බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සෝභිත රාජකරුණා මහතා අධිකරණයට දැන්වීය.

ඒ සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් වන බව ප‍්‍රකාශ කළ පෙත්සම්කරුවන්ගේ නීතීඥවරු සඳහන් කළේ මෙම සංශෝධන නොකරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡුන්දයකින් සම්මත විය යුතු බවට තීරණය කරන ලෙස ඔවූහූ අධිකරයෙන් ඉල්ලා සිටියහ.