භාවනාවෙන් නිදන්ගත ලෙඩ සුව කරයි


බෞද්ධ දර්ශනය හා ස්නායු වෛද්‍ය විද්‍යාව අතර පවතින්නේ ඉන්ද්‍රඛීලයක් බඳු සබඳතාවයකි. මේ බව නූතන විද්‍යාවෙන් ලොව හමුවේ සාක්ෂාත් කරලීමේ අග්‍රගන්‍ය පර්යේෂණය ලබන මාසයේදී ශ්‍රී ලංකාවේදී ඇරඹෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ඉසුරි විමලසිරි මෙනවිය පැවසුවාය.

මෙවන් පර්යේෂණයක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය බවත් වෛද්‍ය විමලසිරි මෙනවිය සඳහන් කළාය.

ස්නායු විද්‍යාත්මක, මානසික හා ජාන වෙනස්වීම භාවනාව ඔස්සේ මනා සිහිකල්පනාවෙන් පවත්වා ගැනීම මෙම පර්යේෂණයේ මාතෘකාවයි.

මෙම පර්යේෂණය සඳහා අමෙරිකාවව කේන්ද්‍ර කොට ගෙන ලොව පුරා රටවල් ගණනාවක පවත්වාගෙන යන ‘ධම්මසුඛ භාවනා‘ මධ්‍යස්ථානයේ භාවනාව ප්‍රගුණ කළ තිස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

සමථ විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීමෙන් දියවැඩියාව, රුධිර පීඩනය පාලනය කර ගැනීමටත් ස්නායුගත පිළිකා, ඩිමෙන්ෂියා, ආඝාත වැනි රෝග සිරුරින් ඉවත් කළ හැකි බවටත් අමෙරිකාව ඇතුළු ලොව රටවල් මේ වන විට සොයා ගෙන ඇත.

එම නිසා මෙම පර්යේෂණය ශ්‍රී ලංකාව අරඹමින් ඒ සඳහා මඟ පෙන්වීම හා උපදේශකත්වය ලබාදෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතාය. මෙවන් පර්යේෂණයක් ශ්‍රී ලංකාවේ සිදු කළ යුතු බවට අදහස ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විජිතධම්ම හිමියෝය.

මෙම පර්යේෂණය සිදු කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කරනු ලබන්නේ ශ්‍රී ලංකාවට වැඩම කර සිටින අමෙරිකා ජාතික ඛේමා මෙහෙණිය ප්‍රධානව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානසික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සමුද්‍රා කත්‍රිආරච්චි මහත්මිය පශ්චාත් උපාධි අපේක්ෂිකා සිතුමිණි විමලසිරි මෙනෙවිය බෞද්ධ දර්ශනය පිළිබඳව පශ්චාත් උපාධියක් හදාරන අමෙරිකා ජාතික මාර්ක් ජොන්සන් මහතා ඇතුළුව වෛද්‍ය ඉසුරි විමලසිරි මෙනවිය ඇතුළු කණ්ඩායමකි.