කුරිරු ලෙස ඝාතනය කැරුණු තම පියාට මේ ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටු නොවුණු බව බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජානතා නිදහස් සන්ධාන මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවසුවාය.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වීමට ආණ්ඩුවෙන් එළියට ආ ඇය විපක්ෂ නායක කාර්යාලයයේ දී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූවාය.
ඇය මාධ්‍ය සාකච්ඡාවට ආවේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය සම චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ද මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.
කොළොන්නාවේ පළාත් පාලන ඡන්ද දයා ඝාතනය කැරුණු හිටපු ඇමැති භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය වන ඇය පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී ඇය කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගෙන බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ද මේ සිද්ධියෙන් තුවාල ලැබීය. ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ඔහු ද සැක කරුවෙකි.
‘මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොදු අපේක්ෂකයා විදියට එනවා කියා දැනගත් දාම මං රාජිත සේනාරත්න මහත්තයට කතා කර ඇහුවා මං කවදද එන්න ඕනෑ කියා. ඔහු කිව්වා හිතෙන දවසක එන්න කියලා.
සමහරුන් යන්න කියද්දි තව පිරික් කිව්වා යන්න එපා කියා. මා මෙතනට ආවේ කිසිම වාසියකට නොවෙයි. දීර්ඝව කල්පනා කරලයි මේ තීරණය ගත්තේ.
මගේ පියා මේ පක්ෂෙට බොහෝ වැඩ කළා. සතකුටවත් අත් නොවිය යුතු ඉරණමක් ඔහුට අත් වුණා. කුරුරි ලෙස මහ මඟ ඝාතනය කළා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් විපක්ෂය කතා කළත් ආණ්ඩුව ඇතුළේ ඉතා සුළු පිරිසක් තමයි කතා කළේය. ඒ අතරේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජිත සේනාරත්න මහතාත් හිටියා.
මගේ පියා වෙනුවෙන් කතා කරද්දී මෛත්‍රීපාල සිරිසේන මහත්තයට සමහරුන් කතා කරලා බැනලා තිබුණා. ඒත් පහුවදාත් ඔහු මට කතා කර කිව්වා දුවේ මට එන්න කියලා බැන්නා, ඒත් දුවත් එක්ක අපි ඉන්නවා කියා කිව්වා.
මට විපක්ෂෙන් කිසිම කෙනෙකු කතා කළේ නෑ. රෝසි සේනානායක මහත්මියට මීට පෙර කතා කළාම ඇය කිව්වේ මගේ පදනම තියෙනනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිසා එතැන ඉඳන් තාත්තා වෙනුවෙන් සටන් කරන්න කියලයි.
ජනාධිපතිතුමාත් සහභාගී වෙන ගෙවල් බෙදා දීමේ උත්සවයක් ළඟදි තිබුණා. අපිවත් පරීක්ෂා කරලයි එතනට ගන්නේ. නමුත් මගේ පියා මරා දැමීමට සම්බන්ධ පුද්ගලයකු තවත් හතලිහක් එක්ක විතර මටත් රවාගෙන එතනට ආවා. මං ඒවෙලාවෙ පොලිස් නිලධාරියකුට කතා කරලා ඇහුවාම කිව්වා ඔහුට එහෙම එන්න බෑ කියලා. දැන් මෙතනට ඔහු ආවේ කොහොමද ඇහුවාම රැස්වීමක ඉන්නේ කියා දුරකතනය විසන්ධි කළා.
ජනාධිපති උපදේශක කෙනෙක් විදියට හිටපු මගේ තාත්තාට මේවගේ ඉරණමක් අත් වුණා නම් අහිංසක ජනතාවට කොහොමද.
තාත්තා ඝාතනය කරලා අවුරුදු තුනක්. නමුත් තවම හරි දඬුවමක් දීලා නෑ. මේ පක්ෂයේ තව බොහෝ දෙනකු ඉන්නවා කල කිරුණු. පක්ෂයේ ප්‍රභල චරිතයකට කියා තිබුණා ඔයා ගියාට කමක් නෑ, ඔයාට ඡන්ද පදනමක් නැහැ කියලා. පක්ෂෙන් යන අය තියා ගන්න කිසිම වැඩ පිළිවෙළක් නෑ.
මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවන්න හෙට ඉඳන් උපරිම ආකාරයට වැඩ කටයුතු කරනවා.
මගෙන් බොහෝ දෙනකු ඇහුවා විපක්ෂයට යනවද කියලා. මාධ්‍ය සගයනුත් ඇහුවා. මං ඒ හැමෝටම කිව්වේ යන්නේ නෑ කියලයි. මට එහෙම කියන්න වුණේ ආරක්ෂක හේතුන් නිසයි. ‘
මාධ්‍යවේදියෙක් - ඔබ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වුණාද?
හිරුණිකා - අස් වුණේ නෑ. හෙට අස් කරයි.
මාධ්‍යවේදියෙක් - ශ්‍රීලනිපයෙන් යනවද?
හිරුණිකා - නෑ මං ශ්‍රීලනිපයේ ඉඳගෙනමයි මේ සටන කරන්නේ. හිටපු ජනපතිනිය, මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු අපි සියලු දෙනා ශ්‍රීලනිපයේ ඉදගෙනයි මේ සටන කරන්නේ.
මාධ්‍යවේදියෙක් - පසුගිය දවසක ජනාධිපතිතුමා කියා තිබුණා මේ ඡන්ද සටන තියේනනේ චන්ද්‍රිකා සම ජනාධිපතිතුමා සමඟයි කියලා?
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය - මේක මගේ නෙමේ හිරුණිකා මෙනවියගේ අවස්ථාව. මා මෙතනට ආවේ ඇගේ ආරක්ෂාවටයි. මොකද අදත් අයට ආණ්ඩුවේ ඉහළ පුද්ගලයන්ගෙන් තර්ජන තිබුණා. දැන් ආණ්ඩුවට චන්ද්‍රිකා හා බණ්ඩාරනායක භිතීයක් ඇති වෙලා. බණ්ඩාරනායක කිව්වාම කේන්ති යනවා. ඒකට කරන්න දෙයක් නැහැ.‘








