බෞද්ධාගමට අපහාස කරන්න පිටරටින් මුදල් ලැබීලා


(සුජිත් හේවාජුලිගේ )

බෞද්ධාගම අපහාස කරන ගරහන කණ්ඩායම්වලට  විදේශයන්ගෙන් විශාල වශයෙන්  මුදල් ලැබී ඇතැයි තොරතුරු අනාවරණයවී තිබෙන බව  අධිකරණ,  බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

විදේශයන්හි විවිධ කණ්ඩායම් මේ පිරිස් මෙහෙයවා ඇතැයිද තොරතුරු අනාවරණයවී ඇති බව පැවසූ අමාත්‍යවරයා  ගිහියන් පමණක් නොව ඇතැම්  භික්ෂූන් වහන්සේලා පවා විදේශයන්හි මුදල්වලට  යටවී මෙලෙස කටයුතු කර ඇති බවද  සඳහන් කළේය.

බුද්ධාගමට පහර දී සංස්කෘතික විනාශයක් ඇති  කිරීමෙන් මේ රට විනාශ කිරීමට හැකි බව අවබෝධ කර ගෙන මේ දුෂ්ට බලවේග කටයුතු කරමින් සිටින  බව පෙනී යන්නේ යැයිද  අමාත්‍යවරයා කීවේය.

ආගමික මතවාදයන්ට ගරහන පිරිස් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි පැවසූ විජයදාස  රාජපක්ෂ මහතා මේ සඳහා නව නීති සකස් කිරීමටද  පියවර ගන්නා බව සඳහන් කළේය.