බෝපේ සභාව හොර රහසේ


බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අද (07) පැවති විශේෂ සභා රැස්වීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට සභා රැස්වීම වාර්තා කිරීමෙන් වළකින්නැයි සභාපති උක්වත්තේ චන්දිම හිමියන් දැනුම් දීමත් සමග සභාව උණුසුම්කාරී තත්ත්වයකට පත්විය. සභාපති හිමියන් කියා සිටියේ මාධ්‍යයට විශේෂ සභාවාරය සඳහා ආරාධනා නොකළ බවයි.

මේ අවස්ථාවේ දී පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීරුන්වන දිල්රුක් අබේකෝන් මහතා සහ ප්‍රේමලාල් අබේසේකර මහතා සභා රැස්වීම ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවසර ලබාදිය යුතු බවත් ඉදිරියේදී ඔවුන්ට ඒ සඳහා ආරාධනා කළ යුතු බවටත් යෝජනාවක් ස්ථිර කළහ. ඒ සමග සභාපති හිමියෝ සභාව මැයි 11 දිනට කල් තැබූහ.

සභාවේ සිදුවන දූෂණ අක්‍රමිකතා සහ වැරදි ජනතාවගෙන් වසංකැර ගැනීම සඳහා සභා රැස්වීම ආවරණය කිරීමට මාධ්‍යයට ආරාධනා නොකරන බවත් එය වරදක් බවත් පවසමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කෑ කෝ ගසමින් සිටියහ. මන්ත්‍රීවරු පැවසුවේ සභාව මැයි 11ට කල් තැබීම ද නීති විරෝධී බවයි.

අත්‍යාවශ්‍ය කටයුතු කිහිපයකට විශේෂ සභා රැස්වීම කැඳවා තිබූ බව පැවසූ සභාපති උක්වත්තේ චන්දිම හිමියෝ කියා සිටියේ එම කාර්යයන් අවසන් වූ පසු සභාව කල් තැබූ බවයි. විශේෂ සභා රැස්වීමක් බැවින් මාධ්‍යවේදීන්ට ආරාධනා නොකළ බව ද හිමියෝ කීහ.