බෝට්ටු සරණාගතයෝ කඳවුරුවලට ගිනි තබති


ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් පැමිණෙන සියලුම සරණාගතයින්   වහාම දකුණු ශාන්තිකර සාගරයේ පැපුවා නිව් ගිනියාවට ගුවන් මගින් පිටත්කර යැවීමට ඕස්ට්‍රේලියාවේ අගමැති කෙවින් රඩ් තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ගිවිසුමක්ද පැපුවා නිව් ගිනියා  අගමැති පීටර් ඕ‘නෙයිල් සමග අත්සන් කැරිණි.

මිනිස් ජාවාරම්කරුවන්ගේ ක්‍රියා කලාපයන් වහාම නතරකර දැමීමට කාළය එළඹ    ඇතැයි ද අගමැතිවරයා මාධ්‍ය හමුවේ පැවසීය.

ඕස්ට්‍රේලියා කම්කරු පක‍ෂයේ නායක හා රටේ අගමැතිගේ මෙම තීරණය  සමගම දැනට නාවුරු දිවයිනේ සරණාගත කඳවුරුවල සිටින රැඳවියන් විශාල    පිරිසක් ඉන් ළියට අවුත් කළහකාරීව හැසිරුණහ. කඳවුරු කිහිපයකට ගිනි තැබූහ. ශ්‍රි ලාංකික බෝට්ටු සරණාගතයෝ ද මෙම කඳවුරුවල සිටිති. 

කළහකාරී  ලෙස හැසිරුණු 50ක් පමණ නාවුරු  පොලීසිය අත්අඩංගුවට ගත්හ.

ගැටුමේ කඳවුරු නිලධාරීන් කිහිප දෙනෙක් හා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ද තුවාල ළදහ.

ඕස්ට්‍රේලියා අගමැතිගේ මෙම තීරණය ඉදිරි මැතිවරණයට හානිදායක බව    දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙම තීරණය අගමැතිවරයා තම රටගැන සිතා ඝෘජුව ගත් තීරණයක් බව මධ්‍යස්ථ මතධාරීහු පෙන්වා දෙති.