වව්නියාවේ බෝගස්වැව ගම්මානයට යන කිලෝමීටර 40ක මාර්ගය වැසි කාලයට තනිකරම වාරිමාර්ගයකි. ‘කුඹුරකි’. අවශ්‍ය වනුයේ වී ටිකක් ඉසීම පමණි. මේ ගම පායන කාලයට ගුරු පාට පස් දූවිලි වී පාරේ වාහන ගුරු පාටින් පින්තාරු කරයි. එම දූවිලි පාරේ යන මිනිසුන්ගේ සිරුරටද ඇතුළුවී ස්වසන රෝගද ගමටම නොමිලේ බෙදයි. වැසියෝ දරිද්‍රතාවේ පතුලේම සිටිති.
පාර හදන බවට රුපියල් දහස් ගණනක් වැය කරමින් ඉදිකළ දැන්වීම් පුවරු පමණක් පවතී. කිලෝමීටර 40ක මාර්ගයේ සෑම අඩියක් පාසාම වලවල් හැරී ඇත. පායන කාලයට බෝගස්වැව සිට වව්නියාවට එද්දී මුළු බසයම ගුරු පැහැ ගැන්වී ඇති අතර ගම්වාසීන්ගේ ඇඳුම් ද ඉබේම ගුරු පැහැ ගනී.
මේ නිසා ශ්වසන ආබාධ ඇති වන බව රියදුරෝ සහ මගීහු කියති. බලධාරීන්ගෙන් කොතෙක් ඉල්ලීම් කළත් මාර්ගයේ මීටරයක් හෝ පිළිසකර නොදුන් බව ගම්වාසීහු පවසති.
ගමේ සිට වව්නියාව නගරයේ රැකියාවලට එන බෝහෝ දෙදෙනෙක් ආයතනයට පැමිණ දූවිලි වැදුණු ඇඳුම් ඉවත් කර වෙනත් ඇඳුම් ඇඳ ගනිති. වව්නියාවේ සිට බෝගස්වැවට යෑමට ගත වන කාලය පැය දෙකකි. මේ පාරේ බස් මාර්ගය 903/1 වේ.
(ජායාරූප තරිඳු ජයවර්ධන)








