බොරු බෝම්බ බියකින් මීගමුවේ බාලිකා පාසලක් කැළඹෙයි


(ප්‍රසාද්  මුතුකුඩ )

මීගමුවේ ප්‍රසිද්ධ  බාලිකා පාසලක් තුළ කාල බොම්බයක් ඇති බවට ලැබුණු නිර්නාමික  දුරකථන ඇමතුමක්  නිසා විදුහලේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

එම ඇමතුමෙන් පසු විනාඩි විස්සක් තුළ එහි සිටින සිසුවියන් ඇතුළු පිරිස්  ඉවත් කර ගැනීමට විදුහලේ පාලනාධිකාරියට පාසල් දුරකතන ක්‍රියාකරුගේ  දැනුම් දීම මත  හැකිව තිබේ.

දුරකතන ඇමැතුම ලැබී සුළු මොහොතකට පසු  ගුවන් හමුදාව, යුධ හමුදා බෝම්බ නිශ්ක්‍රීය  අංශය,පොලිස් සහ බුද්ධි නිළධාරින්  පැමිණ  මේ සම්බන්ධව පරික්ෂණ ඇරැඹු  නමුත් බොම්බයක් හමු නොවු අතර අද විදුහලේ පවත්වන්නට යෙදුණු උත්සවයක් කඩාකප්පල් කිරීමේ අරමුණින් කිසිවකු මෙය සිදු කළේ යැයි  සැකයක් මතුව ඇතැයි පොලීසිය පවසයි.

මෙම  පාසලේ ළමුන්  3000 පමණ  ඉගෙනුම ලබන අතර ඒ  අසල මහාධිකරණයද පිහිටා ඇත.

  විදුහලේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමෙන් පසු හෙලි වී ඇත්තේ යම් සැකසහිත පුද්ගලයකු  පාසලට පැමිණ ප්‍රධාන ගේට්ටුවෙන් පිටවී යන බවයි.

 කෙසේ නමුදු පාසලේ පවත්වන්නට යෙදුණ උත්සවය පැවැත්වු අතර  මේ වන විටත් පාසලේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශයේ කිහිප දෙනකු රැදී සිටිති.

 මෙම සිදු වීම  සොයා බැලීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද  උපදෙස් ලබා දී තිබේ.  පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණ පවත්වයි.