ලංකාවට කුඩු ගෙන්වන අයගේ නාම ලේඛනය වහා හෙළිදරව් කරන්නැයි බොදුබල සේනා සංවිධානය ඉල්ලයි.
කෙතරම් අවලාද නැගුවද , කෙතරම් තාඩන පීඩන ඇති කළද , තර්ජන ඇති කළද බොදු බල සේනාව කිව යුතු තිත්ත ඇත්ත කියන්නට බය නැතැයිද බොදු බල සේනා ව කුඩු ගැන හෝ දුෂණ ගැන කතා කළේ ඡන්ද බලා ගෙන නොවන බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ ලේකම් ඩිලන්ත විතානගේ කියයි.
ජාතික වශයෙන් "කුඩු විරෝධී " මෙහෙයුමක් කිරීමට අප තීරණය කල අතර එය රටේ ප්‍රධානම කුඩු නගරයක් වූ "කොළොන්නාවේදී" 2013 ජුලි 28 දින ප්‍රසිද්ධ බොදු සමුළුවක් පවත්වා දියත් කිරීමට තීරණය කළ බවද ඔහු කියයි.
ජනතාව දැනුවත් කිරීම තුළින් අනාගතයේදී සම්බන්ධ විය හැකි පිරිස් අවම කිරීම , විශේෂයෙන් තරුණ හා පාසල් සිසුන් බේරා ගැනීම, තොරතුරු එක් රැස් කිරීම තුලින් ගත යුතු ක්‍රියාමාර්ග වලට එළඹීම, දැනට මේවාට හුරු වී ඇති පිරිස් ක්‍රමයෙන් ඉවත් කිරීම, පුනරුත්ථාපන කටයුතු, පුහුණු කිරීම් ආදී වූ විවිධ ක්‍රියාදාම යොදා ගනු ලබන අතර ඒ සඳහා බෞද්ධ විහාරස්ථාන කේන්ද්‍ර කොට ප්‍රජා මට්ටමේ ස්වේච්ජා ඒකක පිහිටුවීමටත් පියවර ගන්නා බව එම සංවිධානය කියයි.
ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි මත්කුඩු ජාවාරම් කරුවන් මැඩලීම පිණිස විශේෂ බලකාය පිහිටුවීම, සියලු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ නම් ගම් හෙළිදරව් කිරීම, සුවිශේෂ පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇති කිරීම, දුම් වැටි විරෝධී කටයුතු වැඩි කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කර ඇත.

