බේරුවල අනතුර සිදුවුණේ අකුරැස්සේ මළ ගෙදර ගිහින් එද්දී


බේරුවල රොක්ලන්ඩ් හන්දියේදී දුම්රියේ හැපුණු බසයේ ගමන් කළ පිරිස මහනුවර වැරැල්ලාගම පදිංචි කරුවන් බව පොලීසියට තොරතුරු ලැබී තිබේ.

ගලගෙදර පන්සලක හිමි නමකගේ සමීප නෑයකුගේ මළ ගෙදර ගොස් එමින් සිටියදී මේ අනතුර සිදුවිය.

මළගමට සහභාගීවීම සදහා බස් දෙකකින් අකුරැස්සට ගොස් ඇත. කාන්තාවන් රැගත් බසය අධිවේගී මාර්ගයෙන් ආපසු ගිය අතර පිරිමින් රැගත් බසය මාගල්කන්දට යෑමට පැමිණ ඇත්තේ එහි සිටි කෙනකු මාගල්කන්දේ පදිංචිකරුවකු ‍නිසාය. ඔහුගේ ඇරයුමෙන් සෙසු පිරිස රෑ කෑමට එහි යාමට පැමිණියත් ගාලු පාරෙන් හරවද්දීම බසය දුම්රියේ හැපී පාරට වැටී ඇත.

අඩුගණනේ බසයෙ 44 දෙනකුවත් ගමන් කරන්නට ඇතැයි කියති. රෝහල් ගත කළ තුවාලකරුවන්ගේ ගණන 27කි. තවත් සුළු තුවාල ලැබූ පිරිසක් ද වෙති. අනතුර සිදුව ඇත්තේ පස්වරු 5.55 ට පමණය.