බුද්ධගයාවට යන්නෙත් පයින්


ඇමැති සජිත් ප්‍රේමදාස මහනුවර ශ‍්‍රී දළඳා වහන්සේ වැඳ, අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් හමුවී නව රජය ක‍්‍රියාත්මක කිරීමට යන නිවාස යෝජනා වැඩ සටහන සම්බන්ධව දැනුම්වත් කර අවවාද අනුශාසනා ලැබුවේය.

සජිත් පේ‍්‍රමදාස මහතා අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම බුද්දරක්ඛිත මහනාහිමියන් හමුවේ පවසා සිටියේ මින් ඉහතදි රජයන් විසින් නිවාස ලාභින් සදහා රජයට අවශ්‍ය ආකාරයට නිවාස සැදුවත් නිවාස 50000 නිවාස යෝජනා ක‍්‍රමය යටතේ එම නිවාස හිමියාට අවශ්‍ය ආකාරයට පහසුකම් සියල්ල ලබා දෙන බවත්ය.

දළඳා මාළිගාව අසලින් ඇති මාර්ගය වත්මන් ජනාධිපති විවෘත කිරීමට යන බවට මතයක් ඇති නමුත් එම මාර්ගය විවෘත කිරීමට අවශ්‍යව ඇත්තේ නීතිඥරුවන්ටත්, වෛද්‍යවරුන්ටත් බව නා හිමියෝ කීහ. වාහන ඇති අයට මේ මාර්ගය විවෘත කර ගැනිමට වුවමනාවී ඇති බව නොබියව ප‍්‍රකාශ කරන බවත් බුද්ධරක්ඛිත හිමියෝ ඇමැතිවරයා සමග පැවසූහ.

‘‘ඉන්දියාව වගේ රටවල බුද්ධගයාවට පැය භාගයක් පයින් යන්න ඕන. ලූම්බිණි විහාරයට එදා වගේ නෙමේ හැතැම්ම භාගයක් විතර පයින් යන්න ඕන.ටජ්මහල් වගේ දේවල් ආරක්ෂා කරල තියෙන්නෙ අන්‍ය ආගමිකයින්. නමුත් අපේ රටේ බෞද්ධයින් යැයි කියා ගන්නා කොටසකට ඕන සිද්ධස්ථානය ළඟටම ගිහින් බහින්න.පොලිස්පතිතුමා මට ඇවිල්ල කතා කළා මේ මාර්ගය අරින්න ඕන කියලා. මම එවෙලෙම ජනාධිපතිතුමාගෙන් ඇහුව ඔබතුමා කිවුවද කියල එතුමා කිවුව නැහැ කියලා. එවෙලෙම ඒ ක‍්‍රියාව ජනාධිපති තුමා නතර කළා‘‘