දඹදිව බුද්ධ ගයාවට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් 24 පැයකට පසුව එනම් සඳුදා සවස සිට වන්දනාකරුවනට යළි මහා බෝධි විහාරය, ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු බුද්ධ ගයා පරිශ්‍රයේ සියලු සිද්ධස්ථාන වැඳපුඳා ගැනීමට පහසුකම් සළසා ඇතැයි ද, ආරක්ෂක විධි විධාන තර කර ඇතැයි ද බුද්ධගයාවේ මහා බෝධි මධ්‍යස්ථානාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ කියති.
ශ්‍රී ලංකා වන්දනාකරුවනට දැන් කිසි බියක් සැකක් නැතිව දඹදිව වන්දනාවේ පැමිණිය හැකි බව ද ඒ හිමියෝ පවසති.
බෝම්බ ප්‍රහාරය සිදුවූ පසුව ද බුද්ධගයාවේ බුද්ධ පූජා ඇතුළු ආගමික වතාවත් මහා සංඝරත්නය විසින් නොකඩවාම සිදු වූ බව බිහාර් පොලිසිය කියයි.
‘අවට විහාරස්ථානවල භික්ෂූන්වහන්සේලා එකතු වී සඳුදා (8) ජය ශ්‍රී මා බෝධින්වහන්සේ ළඟ පූජාවක් පැවැත්වුවා. ඒ පූජාවෙන් පස්සේ මහා බෝධි විහාරය වන්දනාකරුවන් සඳහා නැවත විවෘත කර තිබෙනවා.‘
ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට ඇතුළුවන හැම වන්දනාකරුවකුම ලෝහ පිරික්සුම් දොරටු, ලෝහ පිරික්සුම් උපකරණ ඇතුළු නව තාක්ෂණික උපකාරණවල සහායෙන් පරීක්ෂාවට ලක් කෙරේ.
‘සඳුදා (8) චෙන්නායි මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසකුත් මෙම ස්ථානයට ආවා. සිදුවූ දේ සහ ඉදිරියේදී මෙම ස්ථානයට එන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සලසන ආකාරය ගැන ආරක්ෂක අංශ සමග ඔවුන් සාකච්ඡා කළා.
අද (9) උදෑසනත් ආරක්ෂක අංශ බෝම්බ තිබේදැයි කියා හොඳින් පරීක්ෂා කළා.
ඉන්දියාවේ යුද හමුදාව හා පොලිසිය ආරක්ෂාවට කැඳවා තිබෙනවා.
දැන් එම ස්ථානය සම්පූර්ණයෙන්ම ආරක්ෂා සහිතයි. වන්දනාකරුවන්ට බයක් සැකක් නැතිව එන්න පුළුවන්. ලංකාවේ දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරය එල්ල වූවාට පසු ඉතා කෙටි කාලයකින් සියලු ආරක්ෂාව තහවුරු කර එය වන්දනාකරුවන්ට විවෘත කළා වගේම බුද්ධගයාවත් විවෘත කර තිබෙනවා.
සිද්ධිය වූ දිනයේ ශ්‍රී ලංකාවෙන් ඇවිත් සිටි වන්දනා නඩය පහුවදාම ගියා. තාම ලංකාවෙන් වන්දනාකරුවන් ඇවිත් නෑ.
සිද්ධියෙන් ලොකු හානියක් වුණේ නෑ. සුළු සුළු හානි තමයි වුණේ. එම ස්ථාන පිරිසිදු කර හානිවු තැන් වසා තිබෙනවා.‘