බීමත් රියැදුරන් හඳුනාගන්නා ඇල්කොලයිසර් හිඟයක්


(රේඛා තරංගනී ෆොන්සේකා )

රට පුරා පොලිස් ස්ථාන රැසක බීමත් රියදුරන් හඳුනා ගැනීමට  භාවිතා කරන ඇලිකොලයිසර් නොහොත් බැලුන් හිඟයක් පවතින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මාස දෙකක කාලයක සිට පවතින මෙම ඇල්කොලයිසර් හිඟය හේතුවෙන් අත්අඩංගුවට ගන්නා බීමත් රියදුරන් බීමතින් සිටි බවට තහවුරැ කරගැනීමට වෛද්‍යවරයෙකුගේ සහය ගැනීමට සිදුවෙන බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් රථ වාහන නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසුවේ ඇල්කොලයිසර් 10 000ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  කාර්යාලවලට බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි.

රථවාහන අංශ නිලධාරින්ට ඇල්කොලයිසර් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  කාර්යාලවලින් ලබාගතහැකි බව ඒ මහතා කියයි.

ඇල්කොලයිසර් ලක්ෂයක් චීනයෙන් ඇණවුම් කර ඇති බව ද ඒ මහතා පවසයි.කෙසේ වුවත් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට කිසිදු බාධාවක් නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කරයි.