බීම හලට 13 ලක්ෂයක් දඩ


ජාතික ශෝක දිනයක් වූ පසුගිය 12 වැනිදා  මත් පැන් අලවි කළ හලාවත නගරයේ පිහිටි රටබීම තැබෑරුමක හිමිකරුවෙකුට සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.එස්.ගුණවර්ධන මහතා විසින් රුපියල් 13,50,000 ක දඩ මුදලක් නියම කළේය.

 

අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය පැවති පසුගිය 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළ අතර එදින දිවයින පුරා පිහිටි සුරා සැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් නියම කර තිබුණි.

එසේ තිබියදී  හලාවත නගරයේ දුම්රිය පොලට ආසන්නයෙන් පිහිටි අදාල රටබීම තැබෑරුම  විවෘත කර සාමාන්‍ය ආකාරයට අලවි කටයුතු සිදු කරන බවට වූ තොරතුරක් හලාවත සුරාබදු ස්ථානයේ නිලධාරීන් වෙත ලැනු තොරතුරක් මත අදාල ස්ථානය වැටලුවේය.

පුත්තලම දිස්ත්‍රික්කය බාර සහකාර සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සහ හලාවත සුරාබදු අධිකාරී ඊ.එම්.ටී.බී.වික්‍රමනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත අදාල රටබීම තැබෑරුමට මුද්‍රා තැබීමට හලාවත සුරාබදු ස්ථානයේ නිලධාරීහු කටයුතු කළහ.