බිරියගේ උපාධි පත්වීමට දෑස හරස්වේ


මාතලේ නාවුල අඹන  පදිංචි ඕ ජී ගීතමාලී  විනෝදිකා  උපතින්ම දෑස් නොපෙනෙන යුවතියකි.

බ්‍රේල් ක්‍රමයට  ලියා සරසවි උපාධිය  දිනාගත්  ඇයට උපාධිධාරී අභ්‍යාසලාභි  පත්වීම් ලබාදීමේ  මුලික පරීක්ෂණයට 2012-09-19 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කැදැවිණි.

දෑස් නොපෙනෙන  අය බඳවා ගන්නැයි  උපදෙස් නොමැති බව  දිස්ත්‍රික් ලේකම්  හෙලන් මීගස්මුල්ල  මහත්මියගේ  ප්‍රකාශයත් සමඟ නැවත උපාධි සහතික  පත්‍ර තුරුළු කරගෙන  නිවසට ගියාය.

එදා  සිට අද දක්වා  රටේ වගකිවයුතු  බොහෝ දෙනකුට  මේ ගැන කීවත්  පළක් වී නැත. ඇය ඉතා අපහසුතා මැද්දේ  අධ්‍යාපනය ලබා 2010 වර්ෂයේ  දී ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයයේ  ශ්‍රාස්ත්‍රවේදී  මනෝ විද්‍යා උපාධිය  ලබාගත්තාය.මනෝ විද්‍යාව හා ලිංගික මනෝ විද්‍යාව  ඇගේ විෂයන්ය.

උසස් අධ්‍යාපනය  ලබද්දී  ඇය ප්‍රියංක නානයකාර මහතා සමඟ  යුග දිවියට එක් විය. ඔහු ද ඇය මෙන් ම දෑස් නොපෙනෙන තරුණයෙකි. දැන් දෙදෙනාට  අවුරුදු පහක සුරතල් දියණියක් සිටි. සැමියා බස් රථවලට නැඟ පොත් අළෙවි කැර සොයා ගන්නා සුළු මුදලින් මෙම පවුල  නඩත්තු වෙයි. දරුවාගේ දෑස් පෙනේ.

මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල  මහත්මිය රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු  අමාත්‍යංශ ලේකම්වරයාගෙන්  ඇය බඳවා ගැනීමට උපදෙස් පතා  ලිපි දෙකක් යවා  දැනට වසර එකහමාරක් ගතවී ඇත.ඇය දෘෂ්‍යාබාධිත  තත්ත්වයේ පසු වන බැවින් අභ්‍යාසලාභි  තනතුරට බඳවා ගැනීම  ගැටළු සහගත බැවින් ඇය මෙලෙස උපදෙස් ඉල්ලා ඇත.

එහෙත් ගීතමාලී විනෝදනී  අදට ද  රැකියාව බලාපොරොත්තුවෙන්  සිටින්නීය. ඇය කියා සිටින්නේ  දෑස් පෙනෙන අයට මනෝවිද්‍යාව,ලිංගික  මනෝවිද්‍යාව පිළිබඳව දේශන දීමට  මෙන්ම තමන්ට ඕනෑම අභියෝගයක් ජයගැනීමට හැකි බවයි.