ඇඹිලිපිටිය නගරයේදී පසුගිය හතරවැනිදා පැවති සාදයේදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ අවසන් කටයුතු ඇඹිලිපිටිය පොදු සුසාන භූමියේදී අද සවස තුනට සිදුකිරීමට නියමිතය.
ඔහුගේ මරණයට ඇඹිලිපිටිය පොලිසිය වගකිවයුතුයැයි කියැවෙන පෝස්ටර,දැන්වීම් හා වෙනත් පුවරු නගරයේ තැන තැන දක්නට ඇත.
තණමල්විල,තංගල්ල,උඩවලව,සියඹලාණ්ඩුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු වලින් 500 කට අධික භටයෝ නගරයේ ආරක්ෂාවට කැඳවනු ලැබ සිටිති.
රත්නපුරය,වේවැල්වත්ත වැනි පොලිස් ස්ථාන වලින්ද පොලිසිය කැඳවා ඇතත් ඔවුන් නගරයේ මුර සංචාරයට යොදවා නැත.
ජයවර්ධනගේ අවසන් කටයුතු උසාවි නියෝගයට ගරු කරමින් සිදුකරන බව ඔහුගේ වැඩිමල් සොයුරු දිනේෂ් ජයවර්ධන (42) කියයි.
‘මල්ලිගේ මිනියට අගෞරව වෙන කිසි දෙයක් අපි කරන්නේ නැහැ, මළ ගෙදරට එන අයගෙනුත් ඉල්ලන්නේ උසාවි නියෝගයට ගරු කරන ලෙසයි.මාත් බයෙන් ඉන්නේ කවුරුහරි කුමක් හෝ කළහොත් මට ඒකට වගකියන්න වෙන නිසා.අපේ එකම ඉල්ලීම පොලිස් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.‘
මියගිය ජයවර්ධනට අවසන් බුහුමන් දැක්වීමට වැල නොකැඩී පිරිස් ඇදී එති.නගරයේ කොඩි වැල් ඇද ශෝක ප්‍රකාශ බැනර එල්ලා ඇත.
ව්‍යාපාරිකයකුගේ දියණියකගේ මල්වර මගුල නිමිත්තෙන් පැවති සාදයකදී පොලිසිය හා ඇතිවූ ගැටුමින් ජයවර්ධන තුන්වෙනි තට්ටුවෙන් බිමට වැටී රත්නපුර රෝහලට ඇතුල් කිරීමෙන් පසුව මියගියේය.
මරණය සම්බන්ධ පරීක්ෂණය සඳුදා (11) පැවැත්වීමට නියමිතය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මරණ පරීක්ෂණයේ සාක්කි මෙහෙයවීමට නියමිතය.
මේ අතර මෙම සිද්ධියෙන් පසු ඇඹිලිපිටි පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න නිවාඩු ගන්වා ඇත.ඔහු පොලිස් විශේෂ බලකායේ හිටපු නිලධරයෙකි.ඇඹිලිපිටි පොලිසියේ මූලස්ථාන පරීක්ෂක ඇතුළු 21 දෙනෙක් මාරු කරනු ලැබ සිටිති.
මියගිය ප්‍රසන්න එක්දරු පියෙකි.ඔහුගේ බිරිය තවත් දරුවකු අපේක්ෂාවෙන් සිටින්නීය.ඇය කියනුයේ තම සැමියාගේ මරණයට පොලිසිය වගකිවයුතු බවයි.
පොලිසිය මුලින් පැවසූයේ මහා හඬින් ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කළැයි 119 අංකයට හදිසි ඇමතුමක් ලැබුණු බවයි.මුර සංචාරයේ යෙදුණු පොලිස් කොස්තාපල්වරුන් හතරදෙනකු ඒ ගැන විමසා බැලීමට ගිය විට සාදයේදී ඔවුන්ට පහරදී ඇති බව පොලිසිය මුලින් කියා සිටියේය.
එහෙත් පහරදුන්නැයි කියන කතාව සාදයට සහභාගීවූ අය එකහෙළාම ප්‍රතික්ෂේප කරති.
පොලිසිය තුන්වරක් අහසට වෙඩි තැබූ බවද සාදයට සහභාගීවූවෝ පවසති.
මුලින් පොලිසියේ දෙදෙනෙකු සාදය පැවැති තුන්මහල් ගොඩනැගිල්ලට ගොස් ටික වේලාවකට පසුව පොලුමුගුරු රැගත් පොලිස් පිරිසක් සාමාන්‍ය ඇඳුමින් සැරසී එහි පැමිණි බව සාදයට සහභාගීවූවෝ පවසති.
සාදයට පැමිණි පිරිසේ කිහිපදෙනෙකු පවසා ඇත්තේ සහකාර පොලිස් අධිකාරිවරයා අතේද පොරවක් තිබූ බවයි.
මෙම සාදයට සහභාගීවූ ගැහැණු හා දරුවෝද පොලුපහරට ලක්වූ බවත් කියති.
සාද ශාලාවේ බිත්තිවල ලේ පැල්ලම් විසිරී තිබෙණු දුටු බවත් මියගිය ජයවර්ධන උඩුමහලෙන් තල්ලු කරන්නට හෝ වැටෙන්නට ඇත්තේ පොලිසිය පැමිණීමෙන් පසුව බවත් සාදයට එක්ව සිටි අය කියා ඇත.
ජාතික පොලිස් කොමිසම හා මානව හිමිකම් කොමිසම වෙන වෙනම පරීක්ෂණ අරඹා ඇත.පොලිසියේ ජේ්‍යෂ්ඨ නිලධරයකු පැවැත්වූ මූලික පරීක්ෂණයේ තොරතුරු එම පරීක්ෂණ කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇතැයි පොලිස් ආරංචි කියයි.
පොලිසිය මේ මරණයට වගකිවයුතුයැයි කියමින් රජයට ඉදිරිපත් කිරීම සඳහා පෙත්සමකටද මහජනයා අත්සන් කරති.

























