අනියම් පෙමක පැටලුණු තම බිරිය මරා දැමීමේ චෝදනාවට වැරදිකරු ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය.
සම්පත් වඩුගේ සුදත් සිල්වාට (51) මෙම දඩුවම නියම විය.
බිරියගේ හිසට මිටියකින් පහරදීම නිසා හිස්කබලේ පිපිරීම් හතරක් තිබුණු බවත් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හෙළිවිය.
බිරිය සේවය කළ ස්ථානයේ පුද්ගලයකු සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති අතර එම පුද්ගලයා සහ බිරිය අතර වූ දුරකථන ඇමතුම් සොයාගෙන එම සම්බන්ධය නතර කරන ලෙසටත් රැකියාවෙන් ඉවත්වන ලෙසටත් විත්තිකරු බිරියට පවසා ඇත.බිරිය එම අවවාද පිළිනොගත් හෙයින් ඇති වූ බහින් බස් වීමකින් ඇයට පහර දුන් බව විත්තිකරු අධිකරණයේ දි පිළිගත්තේය.
තමන්ට දඩුවම් කළහොත් තම දියණියන් දෙදෙනාගේ ආරක්ෂාවත් අහිමි වන බව විත්තිකරු අධිකරණයට කීය.
එහෙත් සිදුකර ඇති වරදේ ස්වභාවය අනුව එවැනි සමාවක් ප්‍රදානය කළ නොහැකි බව විනිසුරු කීය.
ඔහුට නියම කළ සිරදඩුවම අනුව අවම වශයෙන් අවුරුදු 17ක් බන්ධනාගාරයේ දඩුවම් විදීමට සිදුවේ.

