බිම්බෝම්බ ඉවත් කිරීමේ සැලැස්ම කියයි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම ප්‍රකාශයට පත් කර තිබෙි.

ඒ අනුව 2027 වසර අවසන් වන විට මෙරට බිම් බෝම්බ වලින්තොර රටක් බවට පත්කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුව මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම එළිදැක්වීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී  සිදු කෙරිණ. 

මෙම වැඩසටහනට පැමිණ සිටි තානාපතිවරුන්ට, මහකොමසාරිස්වරුන්ට සහ විදේශීය නියෝජිතයින්ට මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමට අදාල සැලැස්ම  අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

ජිනීවා ජාත්‍යන්තර මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ සහාය ඇතිව බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය විසින් 2023 වසරේ සිට 2027 වසර දක්වා මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරී උපායමාර්ගික වැඩසටහන සකස් කර ඇත. 

මේ වන විට උතුරු හා නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර 204 කට අධික භූමි ප්‍රමාණයක පුද්ගල නාශක බිමි බෝම්බ ඉවත් කොට සිවිල් ජනතාව වෙනුවෙන් නිදහස් කර තිබේ. තවත් වර්ග කිලෝමීටර 15 කට ආසන්න භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ගලවා ඉවත් කිරීමට නියමිතව ඇති බව ‘බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය’ සඳහන් කරයි.