බෑග් මිලියන 40 ක් මාස්පතා මහපොළොවට


(විනීතා එම් ගමගේ)
 
සුපිරි වෙළෙඳසැල් ඇතුළු වෙළඳ  සැල්වලින් මසකට කෝටි හතරකට අධික පොලිතින් බෑග් ප‍්‍රමාණයක් නොමිලේ නිකුත් කෙරෙන බව හෙළිවී තිබේ.
 
මෙම පොලිතින්  බෑග් දිරා යන ඒවා බව පවසන නමුත් එයින් අති  බහුතරයක් දිරා නොයන සාමාන්‍ය පොලිතින් බව පරිසරවේදීහු පවසති. 
 
මේවා බොහොමයක් එක් වතාවක් පමණක් භාවිතා කර ඉවත ලන ඒවා බැවින් එයින් අඩකටත් වැඩි ප‍්‍රමාණයක් එක් වරක් භාවිතා කර ඉවතලන බව ද ඔවුහු කියති.  
 
මෙසේ නොමිලේ බෙදා හැරෙන පොලිතින් බෑග් නිෂ්පාදන දිරා යන්නට වසර 500 කට අධික කාලයක් ගත වන බැවින් සුපිරි වෙළඳසැල්වලින් නොමිලේ ලබා දෙන පොලිතින් කවර ප‍්‍රතික්ෂේප කරන ලෙසත් වෙළඳපොලට යනවිට නැවත භාවිතා කළ හැකි මල්ලක් රැගෙන යන ලෙසත් පරිසරවේදීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
 
එමෙන්ම දැනට තහනමට ලක්ව ඇති පොලිතින් වර්ග නිපදවන අමු ද්‍රව්‍ය තහනම් කර නැති නිසා එම පොලිතින්  නිපදවීම වැළැක්වීම අසීරු වී ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති. 
 
දිරා නොයන පොලිතින් අති විශාල තොගයක් නිරන්තර පරිසරයට එක් වීම ගැන වහා බලධාරින් පියවර ගත යුතු බව ද පරිසරවේදීහු තව දුරටත් පෙන්වා දෙති.