බැසිල්ට එරෙහි ගම්පහ ඉඩම් නඩුව කල්යයි




(ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක)

දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහි  නඩුව නොවැම්බර් මස 14 වැනිදාට කල් තබන ලෙසට ගම්පහ අංක 02 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද(12) නියම කළේය.

විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරු දෙදෙනා අගවිනිසුරුගේ විශ්‍රාම යාම සම්බන්ධයෙන් පැවැත්වෙන උත්සවයට සහභාගී වීම හේතුවෙන් නඩු විභාගයට වෙනත් දිනයක් ලබා දෙන ලෙස නිතිඥ නවීන් මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩු විභාගය නොවැම්බර් මස 14 වෙනිදාට කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරි නඩු විභාගයන්ට දින කතිකා කරගෙන එදිනයට (නොවැම්බර් 14) මහාධිකරණයට දැනුම් දෙන ලෙස පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිස්ටරි ජනරාල් තුසිත් මුදලිගේ මහතාට සහ විත්තියේ නීතිඥ මණ්ඩලයට දන්වා සිටියේය.