
(තිලිණි ද සිල්වා)
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (23) නියෝග කරන ලදී.
2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැයකර නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කොට එම නඩුව පවරා තිබුණි.
ඒම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන ආර්ථික කාර්ය සාධන කමිටුවක ප්‍රධානත්වය දරමින් කටයුතු කරන හෙයින් ඔහුට රාජකාරීමය කටයුතු සඳහා විදෙස්ගත වීමට අවශ්‍ය වී තිබෙන බවය.
ඒ බව තහවුරු කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක් ද ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණයට බාර දෙන ලදී.
එමෙන්ම මෙම නඩුවේ ඇප ලබාදුන් අවස්ථාවේදී සෑම මාස තුනකට වරක්ම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු බවට අධිකරණය මඟින් ඇප කොන්දේසියක් පැනවූ බවත් එම ඇප කොන්දේසිය තම සේවාදායකයා මේ දක්වා කඩකර නොමැති හෙයින් එය ද ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතාගේ එම ඉල්ලීම්වලට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා විරුද්ධත්වයක් නොදැක්වූයේය.
ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයාට දැනුම්දෙන ලෙසත් නියෝග කරන ලදී.
කෙසේවෙතත් විදෙස්ගත වන්නේ නම් ඊට පෙර අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාට නියෝග කර තිබේ.

