(මනෝප්‍රිය ගුණසේකර)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයාට එරෙහිව පවරා ඇති නඩුව වෙනත් අධිකරණයකට මාරු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා එම නඩුව කොළඹ මහාධිකරණයේම විභාග කිරීමට අද (9) තීරණය කළේය.
මෙම අධිකරණයේ, අධිකරණ බලය වෙනස්වීම හේතුවෙන් මෙම නඩුව හෝමාගම මහාධිකරණයට මාරු කිරීම පිළිබඳව සළකා බලන බවට පසුගිය අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා එලෙස තීරණය කළේය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසාද් නවාවී මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතාට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වු කරුණු සළකා බලා අදාළ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ ජනවාරී මස 10 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසාද් නවාවී මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා, ජයන්ත වීරසිංහ සහ ශවේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් සමඟ නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

