
(ටෝනි කරුණානායක)
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනාට විරුද්ධව ඇති නඩුව ලබන වසරේ මාර්තු මස 12 වෙනිදාට නැවත විභාගයට ගැනිමට ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (20) නියම කලේය.
දොම්පේ ,මල්වාන ප්‍රදේශයෙන් අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් මොවුනට චෝදනා ගොනු කර තිබිණි.
බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන විත්තිකරුවන් දෙදෙනා මහාධිකරණය හමුවේ පෙනි නොසිටි අතර විත්තිකරුවන් දෙදෙනා අසනීප තත්වයෙන් සිටින හෙයින් කොවිඩි 19 වසංගත තත්වය මත මහාධිකරණය හමුවේ පෙනී නොසිටින බව විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මහත්වරුන් මහාධිකරණය හමුවේ පැවසීය.
දිනයක් ලබා දෙන ලෙස විත්තියෙන් කල ඉල්ලීම සැලකිල්ලට ගත් මහාධිකරණය නැවත නඩු විභාගය 2021මාර්තු මස 12 වෙනිදාට කල් තැබිණි .
පළමු විත්තිකරුවන බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ගාමිණී මාරපන සහ නවීන් මාරපන යන ජනාධිපති නීතිඥ මහත්වරුන් දෙදෙනා ද පවතින කොවිඩි 19 වසංගත තත්වය හේතුවෙන් මහාධිකරණය හමුවේ පෙනී නොසිටින බව ජනාධිපති නීතිඥ ඩී.ඒ.පී වීරත්න මහතා මහාධිකරණයට දන්වා සිටියේය.

