නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම පිලිබඳ වැඩිදුර විභාගය ලබන ජූනි 04 සහ 05 දිනට කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) තීන්දු කළේය.
දිවි නැගුම මුදල් වංචා කළැයි සැකපිට ඔහු ඇතුළු සිව් දෙනෙක් රිමාන්ඩ් බාරයේ සිටිති.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන්,ප්‍රියසාත් ඩෙප් සහ රෝහිණී මාරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති ,අමාත්‍ය මණ්ඩලය ,මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති , මැගසින් බන්ධනාගාර අධිකාරි ,නිතිපති ඇතුළු 45 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

