අංජුල මහික වීරරත්න
බැඳුම්කර කොමිසමේ වාර්තාව සමඟ බරපතල වංචා දූෂණ කොමිසමෙන් නිකුත් කළ පරීක්ෂණ වාර්තා 32 වහාම එළිදක්වන්නැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අද (28) පැවසීය.
ජනාධිපතිවරයා බරපතල වංචා දූෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර වාර්තා සියල්ල ලාච්චුවේ දමාගෙන ඉන්නා බවද මන්ත්‍රීවරයා කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ තුෂාර ඉඳුනිල් මහතා මෙසේ ද කීවේය.
“ඒකාබද්ධ කල්ලිය කතානායක පක්ෂග්‍රාහී බව දිගින් දිගටම කියනවා. මේ අය දිගින් දිගටම විපක්ෂ නායක තනතුර ඉල්ලා සිටියා. එසේ ඉල්ලා සිටියේ කතානායකවරයායි. ඔවුන් කතානායකගෙන් විපක්ෂ නායක ඉල්ලුවේ කතානායක පූර්ණ බලධාරියා නිසායි. මේ ඉන්නේත් ඒ කතානායකවරයායි.
අද කතානායකට ආණ්ඩුව තිබේ ද නැද්ද කියා තීරණය කිරීමට බලයක් නැතැයි කියන්නේ කෙසේද? කතානායකවරයාගේ ක්‍රියා සම්පූර්ණයෙන් ව්‍යවස්ථානුකූලයි.”

